සුනාමිය මෙරටට කඩාවැදී අදට වසර 19ක් – මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක්

සුනාමිය මෙරටට කඩාවැදී අදට වසර 19ක් – මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක්

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමියට අදට වසර 19 ක්.

රිච්ටර් මාපකයේ 9.1 -9.3 අතර සටහන් වූ මේ සුනාමිය රකුසකු ලෙස රටවල් රැසකට කඩා වදිද්දී ඉන් ගැලවීමට විශාල ජනසමූහයකට නොහැකි විය.

මෙම බලගතු සුනාමියෙන් මෙරට 30,000කට අධික ජනකායක් මරුමුවට පත් වූහ. අම්පාර ප‍්‍රදේශයේ පමණක් 10,000කට අධික පිරිසක් මියගිය බව වාර්තාවේ. සුනාමිය මුහුදු වෙරළින් රට තුළට කඩා වැදීමෙන් මගීන් 1700ක් රැගත් දුම්රිය ද ගොදුරු විය.

ඉන්දුනීසියාව අසල පෘථිවිය තල හා ඉන්දීය කලාපයේ තල එකිනෙක ගැටීමෙන් සිදු වූ මෙම භූචලනය ගැන ඇමෙරිකානු භූ චලන ආයතනය අනතුරු අඟවා තිබුණත් ඉන්දුනීසියානු සාගරයේ පිහිටි රටවල් රැසක් සඳහා අනතුර ගැන දැන්වීමට නොහැකි විය. මේ භූචලනය විනාඩි 8 ත් 10ත් අතර පැවැති බව වාර්තා විය.

එසේම ඉන් ඇති වූ සුනාමියේ බලය ඇමෙරිකාව විසින් හිරෝෂිමාවට දැමූ පරමාණු බෝම්බය මෙන් 1808 වරක් බලසම්පන්න බව සාගර විද්‍යාඥයෝ හෙළි කළහ.

මේ අතර 2004 වසරේ ශ්‍රී ලංකාවේ සිදුවූ සුනාමි ව්‍යසනයේදී ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් අද (26) මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් රට පුරා පැවැත්වීම සිදු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීම සිදු වන බවයි වාර්තා වන්නේ.

COMMENTS