කහවත්ත කැළඹු ඝාතනයේ සුල මුල

කහවත්ත කැළඹු ඝාතනයේ සුල මුල

රත්නපුර – කහවත්ත – වැල්ලදුර ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහරදී තුන්දරු මවක ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මිය ගිය කාන්තාවගේ දියණියද නිදහස් කෙරුණා.

71 හැවිරිදි මෙම මව ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් 55 හැවිරිදි පෙදරේරුවෙකු වන සැකකරු ඊයේ (29) පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබුණා.

එහිදී පොලිසිය දැනුම් දී තිබුණේ මෙම ඝාතනයට මීට පෙර අත්අඩංගුවට ගත් මිය ගිය කාන්තාවගේ දියණිය ඊට සම්බන්ධ නොමැති බවයි. ඒ අනුව ඇය නිදහස් කරන ලෙස පොලිසියට කළ ඉල්ලීමකට අනුව පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා ඇයව නිදහස් කර තිබුණා.

පොලිසිය එහිදී අධිකරණයට සඳහන් කර ඇත්තේ විමර්ශනවලදී අසල්වාසීන් ලබා දුන් ප්‍රකාශ සහ කොටකෙතන ඝාතන රැල්ල මෙන් ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබීම හේතුවෙන් තරුණියගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඇය අත්අඩංගුවට ගත් බවයි.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හිටපු හමුදා සෙබලෙකු ද වන අතර පසුව ඔහු පෙදරේරුවෙකු ලෙස රැකියාවේ නිරත වී ඇති බව සඳහන්.

සැකකරු මියගිය කාන්තාවගේ නිවසට ඝාතනය සිදු වූ පසුගිය 13 වනදා පැමිණ ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මොහු මිය ගිය කාන්තාවගේ නිවස අළුත්වැඩියා කිරීම සඳහා පැමිණ ඇති අතර නිවසේ තිබූ රන් භාණ්ඩ කිහිපයක් ඔහු විසින් සොරා ගෙන ඇති බවට මිය ගිය කාන්තාව සැකකර ඇති බවයි පොලිසිය අධිකරණයේදී සඳහන් කර ඇත්තේ. පසුව මියගිය කාන්තාව සැකකරුට දුරකථන ඇමතුම් 9 ක් පමණ ලබා දී ඇති අතර ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ එක් ඇමතුමකට පමණක් බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තමන් රන් භාණ්ඩ සොරා ගත් බවට සැකකරු පිළිගෙන ඇති අතර එහි වටිනාකම මුදලින් ගෙවන බවටද ඔහු පොරොන්දු වී ඇතැයි සඳහන්. පසුව සැකකරු ඇයගේ නිවසට පැමිණ ඇති අතර එහිදී මියගිය කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ මුදල් නොගෙවන්නේනම් තමා පොලිසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවටයි.

එහිදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

පසුව සැකකරු ඇයව තල්ලු කර ඇති අතර එහිදී ඇය බිත්තියක ගැටී බිම ඇද වැටීමෙන් පසු ඔහු ඇයගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබෙනවා.

සැකකරු ප්‍රදේශයේ නිවාස කිහිපයකට ගොස් ඇති අතර එය උපක්‍රමයක් ලෙස ඔහු විසින් භාවිතා කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

අනතුරුව සැකකරු යළි මියගිය කාන්තාවගේ නිවසට පැමිණ ඝාතනය සිදු කළ ස්ථානය සෝදා දමා ඇති අතර පසුව ඔහු අසළ තිබූ ඉනිමගක්ද පෙරලා ඒ අසලට ටකරම් කැබල්ලක්ද ගෙන ගොස් ඇත්තේ කාත්තාවගේ ගෙළ ටකරම් කැබැල්ලකින් කැපුණු බවට ඇඟවීමටයි.

විමර්ශනවල දී පොලිස් නිල සුනඛයා යෙදවූ අවස්ථාවේදී සැකකරු පොලිස් රථයකට මුවා වී සැගව සිටි බවද අනාවරණය වී තිබෙනවා.

ඔහු විසින් ඝාතනය සඳහා යොදා ගත් පිහිය අසල ලඳු කැලෑවක ගලක් යට සඟවා තිබියදී සොයා ගත් බවද පොලිසිය සඳහන් කළා.