“අවලෝකිතේශ්වර බෝධිසත්ව” නමින් පෙනී සිටි මහින්දට වැඩ වරදී

“අවලෝකිතේශ්වර බෝධිසත්ව” නමින් පෙනී සිටි මහින්දට වැඩ වරදී

බුදු දහම විකෘති කරමින් දේශනා පවත්වන බවට චෝදනා එල්ල වන අවලෝකිතේෂ්වර නැමැත්තාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (12) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක කොට්ඨාසය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

එමෙන්ම, ඔහුගේ බැංකු ගිණුම් වාර්තා කැඳවීමටත් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

මහින්ද කොඩිතුවක්කු නමැති මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය සාක්ෂි ඉදිරිපත් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී කියා සිටියා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කිරීම සදහා අවශ්‍ය සාක්ෂි ලබන 17 වනදා අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

අවලෝකිතීෂ්වර බෝධිසත්ත්වයන් නමින් පෙනී සිටින මෙම සැකකරුට එරෙහිව පැමිණිලි රැසක් ලැබී ඇති බවද එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

පැමිණිලිකරුවන් කැඳවා ප්‍රකාශ සටහන් කර විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.

එසේම යූ ටියුබ් නාලිකා ඔස්සේ වීඩියෝ කිහිපයක් නිකුත් කර මෙම පුද්ගලයා, බෞද්ධ ධර්මයට පමණක් නොව බුදු රජාණන් වහන්සේට හා යශෝධරා දේවියටත් විවිධ ප්‍රකාශ සිදුකර අපහාස කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ.

මෙම සැකකරු තුන්වැනි විනිසුරුවරයෙකු පහළ වී ඇති බව පවසමින් පසුගියදා ප්‍රසිද්ධ විහාරස්ථානයකට ගොස් දේශනයක් ද පවත්වා තිබූ බව ද එහිදී ගිහිබැතිමතුන් මෙන්ම මෙහෙණින් වහන්සේ නමක්ද වැද නමස්කාර කර තිබූ බව ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී ඇති බවයි අනාවරණ කෙරුණේ.

බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව එල්ල වූ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙන්ම මෙම සැකකකරු ද සිදුකරනුයේ බුදු දහම පිළිබද නිසි අවබෝධයක් නැතත් ධර්ම දේශනා යැයි මවා පාමින් රංගන ශිල්පීන් උපයෝගි කර ගනිමින් මුදල් උපයා ගැනීමේ ව්‍යාපාරයක් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණයට ප්‍රකාශ කළා.

මේ අතර, මහා සංඝරත්නය මෙවැනි තත්ත්වයන් ගැන අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ජාතික භික්ෂු පෙරමුණ අනුරාධපුරයේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.