විදුලි බිල අඩු කිරීමේ අවම කාණ්ඩයට සහනය රුපියලක් ද ?

විදුලි බිල අඩු කිරීමේ අවම කාණ්ඩයට සහනය රුපියලක් ද ?

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ දත්ත ඇතුළත් වාර්තාව තම කොමිසම වෙත ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඊයේ (13) දිනයේ කොමිෂන් සභාවට ලැබුණු බවය.

එය මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය.

කෙසේවෙතත් නව විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මාසයේ සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අදහස් පළ කළේය.

“ඉතාම සරල අන්දමට කළ ගණන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට යම්කිසි මිල අඩුකිරීම් වගයක් යෝජනා කරලා තියෙනවා. යෝජනා කරලා තියෙන මිල දෙස බලපුවාම එහි ස්ථාවර ගාස්තුවත් ඒ වගේම ඒකක ගාස්තුවත් දෙකම අඩු කරලා තියෙනවා.

මේ ඉදිරිපත් කිරීමේ අවසායේ දක්වලා තියෙනවා ඉතාම හාස්‍ය ජනක කරුණු කිහිපයක්. මූල්‍යමය ගනුදෙනු කරන ආයතන වෙනම කොටස්වලට වෙන්කරලා. මම හිතන ආකාරයට ඉඟි කරන්නේ වැඩි මිලක් අය කරමු කියලා.

ඒ වගේම යෝජනා කරලා තියෙන විදුලි මිල අඩුවීම සාමන්‍යයෙන්… ඒකකයට රුපියලක් වගේ ප්‍රමාණයක් විදුලි මිල අඩුකිරීමක් තමයි කරලා තියෙන්නේ.”

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, ගෘහස්ථ විදුලි සබඳතා කාණ්ඩය යටතේ මසකට ඒකක 0 සිට 30 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12ක ගාස්තුව රුපියල් 11ක් දක්වා රුපියලකින් අඩු කිරීමට සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 165 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටයි.

එම කාණ්ඩයේම මසකට ඒකක 31 සිට 60 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 27.50 දක්වා රුපියල් 02.50 කින් අඩු කිරීමටත්, ඊට අදාළව මෙතෙක් රුපියල් 360ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 330 දක්වා රුපියල් 30 කින් අඩු කිරීමටත් යෝජිතයි.

ගෘහස්ථ ඛාණ්ඩය යටතේම මසකට කිලෝවොට් පැය 60ට වඩා විදුලිය පරිභෝජනය කරන පිරිස් සඳහා ද විදුලිය ගාස්තු අඩු කිරීමක් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව, මසකට ඒකක 0 සිට 60 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 38ක ගාස්තුව රුපියල් 37 දක්වා රුපියලකින් අඩු කිරීමට යෝජිතයි.

ඒකක 61 සිට 90 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 41 සිට රුපියල් 39 දක්වා රුපියල් 02 කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට රුපියල් 455 දක්වා රුපියල් 25කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වා අය කෙරෙන ගාස්තුව රුපියල් 59 සිට රුපියල් 56 දක්වා රුපියල් 03කින් අඩු කිරීමටත්, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 1,180 සිට රුපියල් 1,120 දක්වා රුපියල් 60කින් අඩු කිරීමටත් යෝජිතයි.

ඒකක 121 සිට 180 දක්වා අය දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 59ක ගාස්තුව රුපියල් 57 දක්වා රුපියල් 02කින් අඩු කිරීමටත්, ඊට අදාළව රුපියල් 1,770ක්ව පවතින ස්ථාවර ගාස්තුව රුපියල් 1,700 දක්වා රුපියල් 70කින් අඩු කිරීමටත් යෝජනා කර තිබෙනවා.

මේ අතර, ආගමික සහ පුණ්‍යායතන කාණ්ඩය යටතේ මසකට ඒකක 0 සිට 30 දක්වා දැනට අය කෙරෙන ගාස්තුව වන රුපියල් 12ක ගාස්තුව රුපියල් 11 දක්වා රුපියලකින් සහ ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට රුපියල් 165 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටත් යෝජිතයි.

එමෙන්ම, ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇත්තේ, අනෙකුත් පාරිභෝගික කාණ්ඩ යටතේ ගැනෙන කර්මාන්ත සහ හෝටල් සඳහා ද විදුලිය ගාස්තු අඩු කිරීමටයි.

ඒ අනුව, කර්මාන්ත කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට අඩුවෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 20ක ගාස්තුව රුපියල් 19.25 දක්වා ශත 75කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 340 සිට රුපියල් 325 දක්වා රුපියල් 15කින් අඩු කිරීමටත් යෝජනා කර තිබෙනවා.

කර්මාන්ත කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට වැඩියෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 28ක ගාස්තුව රුපියල් 26.75 දක්වා රුපියලයි ශත 25කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 1,120 සිට රුපියල් 1,070 දක්වා රුපියල් 50කින් අඩු කිරීමටත් යෝජිතයි.

එමෙන්ම හෝටල් කාණ්ඩය යටතේ මසකට ඒකක 300ට අඩුවෙන් කෙරෙන විදුලි පරිභෝජනය සඳහා දැනට අය කෙරෙන රුපියල් 20 ක ගාස්තුව රුපියල් 19.25 දක්වා ශත 75 කින් අඩු කිරීමට යෝජිත අතර, ඊට අදාළ ස්ථාවර ගාස්තුව රුපියල් 340 සිට රුපියල් 325 දක්වා රුපියල් 15 කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.