තහනම් කළ උ.පෙළ. පේපරය පළමුවැනිදා

තහනම් කළ උ.පෙළ. පේපරය පළමුවැනිදා

මෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය නැවත පැවත්වීමේ විශේෂ විභාගය එලඹෙන පෙබරවාරි පළමුවැනිදා පෙරවරු 8.30 සිට 11.40 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරන ලද ඉකුත් 10 දා පෙරවරුවේ පැවත්වූ කෘෂි විද්‍යාව දෙවන පත්‍රය වෙනුවට නව ප්‍රශ්න පත්‍රයක් ලබා දීම වෙනුවෙන් මෙම විශේෂ විභාග අවස්ථාව පැවත්වේ.

ඒ අනුව මෙම මස 31 දිනට අවසන් වීමට නියමිතව තිබූ 2023(2024) උසස් පෙළ විභාගය පෙබරවාරි 01 දායින් අවසන්වන අතර සියලු විභාග මධ්‍යස්තාන එදිනද සාමාන්‍ය පරිදි පැවත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

52 හැවිරිදි වියේ පසුවන අදාළ ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකාර ගුරුවරයා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අයෙකු බවය.

සැකකරු විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි මස 08 වනදා නිකුත් කර ඇති බවත් එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 12 වනදා පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරු (13) පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.