ජනපතිගේ නව ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදයට දින නියම වෙයි

ජනපතිගේ නව ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදයට දින නියම වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙබ. 7 වන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පෙබ. 8 සහ 9 දෙදින පැවැත්වී‍මට තීරණය කර තිබේ.

ඊයේ ( 01) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ බව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවා ය.

මෙම පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ඒ අනුව, පෙබරවාරි 8 වන බ්‍රහස්පතින්දා ‍සහ 9 වන සිකුරාදා පෙ.ව. 9:30 සිට ප.ව. 5:30 දක්වා සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත.

‍නව වන පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය පෙබරවාරි 7 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත අතර එදින පෙ.ව. 10:30ට පාර්ලිමේන්තුවේ මුලසුන දරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.