පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ට විශේෂ බස් සහ දුම්රිය සේවාවක්

පොසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුරය පූජා නගරය වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද (20) සිට විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අනුරාධපුරය පූජා නගරය වෙත පැමිණෙන සැදැවතුන්ගේ ගමනාගමන පහසුව සැලසීම සඳහා එම බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව සඳහන්ය.

දුම්රියෙන් පැමිණෙන ජනතාව වෙනුවෙන් මහව දුම්රිය ස්ථානය දක්වා විශේෂ දුම්රිය වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේය.

අනුරාධපුරයට පැමිණෙන ජනතාව සඳහා අතිරේක බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේය.

මේ අතර මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොලිස් නිලධාරීන් 20,000කට ආසන්න පිරිසක් රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මේ අතර වන්දනාමාන කිරීම සඳහා අනුරාධපුරයට පැමිණෙන ජනතාවගෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඉල්ලීමක් කරමින් සඳහන් කර සිටියේ අනුරාධපුර නගරය අපවිත්‍ර නොකර වන්දනාමාන කටයුතු සිදුකරගන්නා ලෙසය.

මේ අතර පොසොන් පොහොයට සමගාමීව ප්‍රදර්ශනය කරනු ලබන හොල්මන් මන්දිර වැනි දෑ තහනම් කිරීම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරෝතු වන බව බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ අදාළ වැඩසටහන් මඟින් පොසොන් පොහොයේ මූලික අරමුණට හානි සිදුවන බවය.

එවැනි බෞද්ධාගමට පටහැනි වැඩසටහන් තහනම් කිරීමට ඇති හැකියාව පිළිබඳව අද දිනයේ නීති උපදෙස් ලබාගැනීමට පියවර ගන්නා බව විදුර වික්‍රමනායක අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS