දුම්රිය වර්ජකයින්ට විනය ක්‍රියාමාර්ග

දුම්රිය වර්ජකයින්ට විනය ක්‍රියාමාර්ග

ප්‍රවාහන සේවාව මෙරට අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති බැවින් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය නීතිවිරෝධී ක්‍රියාවක් බවත් සේවයට වාර්තා නොකරන සේවකයින්ට විනයානුකූල පියවර ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රවාහන සේවය පසුගිය සතියේදී අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කර ඇති බව ද රංජිත් රූබසිංහ මහතා සඳහන් කළා.

එසේ තිබී දී දුම්රිය ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් හදිසියේ කැඳවා තිබෙන වැඩවර්ජනය නීතිවිරෝධී බවද අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දුන්නා.

මෙම හදිසි වැඩවර්ජනයන් නිසා බදුල්ල, ත්‍රිකුණාමලය හා මඩකළපුව දක්වා ඊයේ (09) ධාවනය වීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රියන් අවලංගු කර ඇති බවත්, එම හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවගේ ගමනාගමන පහසුව සලසාදීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා කියා සිටියා.

මෙම වැඩවර්ජන තත්ත්වය හේතුවෙන් අද (10) දිනයේ කාර්යාලයීය දුම්රිය ධාවනයට බාධාවක් ඇති වුවහොත් ඊට මූහුණදීම සඳහා ලංගම බස් රථ වැඩි ගණනක් යෙදවීමටත්, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබෙන මගීන් සඳහා ලංගම බස් රථවල ප්‍රවාහනය නොමිලේ සිදු කිරීමටත් අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ප්‍රවාහන අමාත්‍යංශය ලේකම් රංජිත් රූබසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

COMMENTS