තැපැල් ඡන්ද දායකයින් 712,321 ක් සුදුසුකම් ලබයි

තැපැල් ඡන්ද දායකයින් 712,321 ක් සුදුසුකම් ලබයි

2024 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සඳහා 712,321 සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් පවසනවා.

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් 736,589ක් ලැබී ඇති නමුත් ඒ අතරින් 24,268ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියා.

ඒ අනුව 2019 ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර තැපැල් ඡන්ද දායකයින් 52,806 ක වැඩිවීමක්. එම ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 659,515 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා.

මෙවර තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන මස 4, 5 සහ 6 යන තෙදින තුළ සිදු කිරීමට නියමිතයි. එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දින ලෙස ලබන මස 11 සහ 12 යන දින ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන මස මුලදී ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළා. නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය දැනටමත් සිදු කෙරෙන අතර, තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය ආයතන වෙත ලබාදීම ලබන සදුදා ආරම්භ කිරීමට නියමිත බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවට වූ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේයි.

මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතරක් සුදුසුකම් ලබා ඇති අතර, අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා භාර දුන්නා. ඒ අනුව, අපේක්ෂකයෙකුට සියලු‍ම ඡන්ද දායකයින් වෙනුවෙන් වියදම් කළ හැක්කේ, එකසිය අසූ හය කෝටි අසූ දෙලක්ෂ අනූ අටදහස් අසූ හයක මුදලක් පමණයි.

ඉන් සියයට 60 මුදලක් එනම්, කෝටි 112 ක් පමණ එක් අපේක්ෂකයෙකුට තම ප්‍රචාරණ වියදම් ලෙස දැරිය හැකි වනවා.

ඉතිරි සියයට 40 එනම්, කෝටි 74 ක පමණ මුදලක්, එම අපේක්ෂකයා ඉදිරිපත් කරන පිළිගත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා නාමයෝජනා කළ ඡන්දහිමියා හට එම අපේක්ෂකයා වෙනුවෙන් වියදම් කළ හැකි බවයි ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ අදාළ මුදල් වෙන් කිරීම සාධනීය බවය.