රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර

රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ගුවන් ප්‍රහාර

රුසියාව යුක්‍රේනයට එල්ල කළ දැවැන්තම ගුවන් ප්‍රහාරයකින් හත් දෙනෙකු මිය ගිය බව යුක්රේනය පවසනවා.

රුසියාව මෙතෙක් යුක්රේනයට එල්ල කළ විශාලතම ගුවන් ප්‍රහාරයන්ගෙන් එකක් යුක්රේනයට ඊයේ රාත්‍රියේ එල්ල කර ඇති බව යුක්රේන ගුවන් හමුදා ප්‍රධානියා පවසනවා.

යුක්රේනයේ ප්‍රදේශවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට මිසයිල හා ඩ්‍රෝන යානා ප්‍රහාර එල්ල කිරීම නිසා පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

සමස්ත යුක්‍රේනයටම ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ අතර රුසියාව විදුලිය හා යටිතල පහසුකම්වලට පහර දීම නිසා ප්‍රදේශ රැසක විදුලිය ද විසන්ධිව තිබුණා.

මිසයිල හා ඩ්‍රෝන් ප්‍රහාර මාලාව ඊයේ රාත්‍රියේ ආරම්භ වූ අතර අද අලුයම දක්වා දිගටම පැවති බවයි වාර්තා වන්නේ.

ඊට මිසයිල 127 ක් හා ප්‍රහාරක ඩ්‍රෝන 109 ක් භාවිත කල බව රුසියාව පවසනවා.

ඉන් මිසයිල 102ක් හා ඩ්‍රෝන යානා 99ක් යුක්රේනය විසින් බිම හෙළා ඇති බව වාර්තා වල සඳහන්.

පසුගිය දෙසැම්බර් මාසයේද යුක්රේනයට මිසයිල හා ඩ්‍රෝන යානා 158 ක් යොදා ගනිමින් රුසියාව ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරය මෙතෙක් එල්ල වූ විශාලතම ප්‍රහාරය ලෙසයි සැලකෙන්නේ.

https://shorturl.at/AiPrm

COMMENTS