මේ යන විදිහට ගියොත් යළි ආර් ථික අර් බුදයක් අත ලග – අනුරාධ ජයරත්න

මේ යන විදිහට ගියොත් යළි ආර් ථික අර් බුදයක් අත ලග – අනුරාධ ජයරත්න

දිගින් දිගටම ණය ගෙන කන්න දෙන වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හමුවේ ඉතා නුදුරේදීම රට යළිත් ආර්ථික අර්බුදයට ලක්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසනවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මේ බව සඳහන් කර සිටියේ එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන්, යටිනුවර ආසනයේ පැවති ජන හමුවක් අමතමිනි.

පසුගිය ආණ්ඩුව අස්වැසුම , වැඩිහිටි දීමනාව , ආබාධිත දීමනාව ඇතුළු සහන ජනතාවට ලබාදුන්නේ රාජ්‍ය ආදායම් නිවැරැදි ලෙස කළමනාකරණය කිරීමෙන් මිස ණයට ගෙන නොවන බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධ ජයරත්න,

”පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ අපි කණ්ඩායමක් විදිහට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් කටයුතු කළේ , එතුමා ඇතුළු අපේ ආණ්ඩුව පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් ගෙනගිය වැඩපිළිවෙළ කඩාකප්පල් වුණොත් රට බරපතළ අර්බුදයකට පත්වෙන බව විශ්වාස කළ නිසයි. ඒ තුළ අපි විශ්වාස කළා එම වැඩපිළිවෙළ තවත් අවුරුදු 2-3ක් වත් ඉදිරියට ගෙනයාමට අවශ්‍යයි කියලා. අද වන විට අපේ ඒ විශ්වාසය නිවැරැදි බව තහවුරු වෙමින් තියෙනවා .මේ වෙනකොට මාලිමාව එදා කියපු දේවල් ප්‍රායෝගික නැති බව මහ පොළොවේ ඔප්පු වෙමින් තියෙනවා. උදාහරණයක් ලෙස එදා ඔවුන් බැඳුම්කර නිකුත් කිරීම විවේචනය කළා. නමුත් අද ඔවුන් දිගින් දිගටම බැඳුම්කර නිකුත්කරමින් ණය ගන්න කටයුතු කරනවා. අපේ ආණ්ඩුව අස්වැසුම , වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව ඇතුළු ජනතාවට සහන දුන්නේ ණය අරගෙන නෙවෙයි . අපි රාජ්‍ය ආදායම් නිවැරැදි ලෙස කළමනාකරණය කරමින් ඒ කටයුතු සිදුකළා. නමුත් මේ ආණ්ඩුව ණයට අරගෙන කන්න දෙන ප්‍රතිපත්තියක් ගෙනයනවා. මේ විදිහට ගියොත් රට යළිත් අර්බුදයට ගමන් කිරීම වලකාලීමට කිසිවෙකුට නොහැකි වෙනවා. ඔබතුමන්ලා දන්නවා පසුගිය දින වල ජාත්‍යන්තරයේ ඉතා වැදගත් සමුළු දෙකක් තිබුණා . එකක් පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව . අනෙක බ්‍රික්ස් සමුළුව. මේ සමුළු දෙකටම ආරාධනා ලැබුණත් අනුර දිසානායක ජනාධිපතිවරයා සහභාගී වුණේ නෑ. ඒ වෙනුවට සාමාන්‍ය නිලධාරින් පිරිසක් යවන්න කටයුතු කළා. මේ විදිහට පුළුවන් ද රටක් කරන්න. එතුමා හිතාගෙන ඉන්නවාද දන්නේ නෑ , අපි ගෙවන්න තියෙන ණය අරගෙන තියෙන්නේ ලංකාවේ කොහේ හරි ඉන්න පොලී මුදලාලි කෙනෙකුගෙන් කියලා. විදෙස් සම්බන්ධතා මේ ආකාරයට පළුදු කරගෙන අපි කොහොමද රටක් ලෙස ඉදිරියට යන්නේ . ඒ ගැන අපි හිතන්න අවශ්‍යයි .ඒ වගේම ඔබතුමන්ලා තේරුම් ගන්න මේ වෙනකොට අපි හම්බ කරගෙන කනවා. නමුත් 2028 වසර වෙනකොට අපි හම්බ කරලා ණයත් ගෙවලා තමයි කන්න අවශ්‍ය. ඒ වෙනකොට ආර්ථිකය හදාගෙන හිටියේ නැත්නම් ආයෙත් මේ රට බරපතළ ලෙස අර්බුදයට යනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ, අපේ ආණ්ඩුව අනුගමනය කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි කියලා .ඔබතුමන්ලාට මතක ඇති මේ අය ජන්දය ගන්න කොච්චර නම් බොරු අවලාද කිව්වාද කියලා . අනුර දිසානායක පාලනය ඇතුලේ අඩි මිලට බිත්තර කන්න පුළුවන් කියලා කිව්වා. බිත්තරයෙන් පවා අපේ ඇමතිවරුන් කොමිස් ගන්නවා කිව්වා. අනුර ආව ගමන් බිත්තර මිල අඩු වුණා . ඒත් සතියයි ගියේ බිත්තර මිල අපේ කාලයේ තිබුණාටත් වඩා ඉහළ ගියා. දැන් කිකිලිගෙන් තමයි අහන්න වෙන්නේ මොකද වුණේ කියලා . ඒ දවස් වල කියපු කතා වලට අද මොකද වෙලා තියෙන්නේ ? ඒ දවස් වල මාලිමාවේ උදවිය කිව්වා තෙල් මීට වඩා අඩු මුදලකට දෙන්න පුළුවන් . නමුත් කංචන විජේසේකර ඇමතිතුමා තෙල් ලීටරයකින් රුපියල් 120ක් සාක්කුවට දාගන්නවා කියලා . අපේ ජනතාවත් හිතුවා අනුර ආවොත් තෙල් ලීටරය රුපියල් 180 කට ගන්න පුළුවන් වෙයි කියලා . දැන් අහන්න වෙනවා තෙල් මිල කියපු විදිහට අඩු නොකළේ, ඇයි කියලා . කංචන ඇමතිතුමා ගේ සාක්කුවට ගියා කියපු රුපියල් 120 අද යන්නේ අනුර දිසානායක ගේ සාක්කුවටද කියලා අහන්න වෙනවා . ඒ නිසා විවිධ බොරු කියලා බලය ගත්තට ප්‍රායෝගිකව ආණ්ඩුව කරගෙන යන්න නොහැකි බව අද ඔප්පු කර තියෙනවා . ඒ වගේම තමයි , ඔවුන් කිව්වා , බලයට ආවට පස්සේ අඩු ආදායම් පවුලකට මාසයකට රුපියල් 25000ක දීමනාවක් දෙනවා කියලා . අද අපි අහනවා ලංකාවේ පවුල් කීයකට ඒ දීමනාව ලැබෙනවා ද කියලා . ඒ එක්කම කිව්වා රාජ්‍ය සේවක වැටුප මාස හයෙන් හයට ඉහළ දානවා කියලා . නමුත් අද කියන්නේ සල්ලි තියෙන විදිහට තමයි වැටුප් වැඩිකිරීම කරන්න වෙන්නේ කියලා . සල්ලි තියෙනවා නම් වැටුප් වැඩිකිරීම කරන්න පුළුවන් කියලා අලුතින් කියන්න දෙයක් නෑ . ඒක අපි ඕනම කෙනෙක් දන්නවා . නමුත් එදා කිව්වේ මොකක්ද කියලයි අපි ප්‍රශ්න කරන්නේ . එදා වේදිකාවේ කියපු දේ නෙවෙයි අද මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙනකොට සජබ ගැන කතා කරන්න දෙයක් නෑ . අවම වශයෙන් මැතිවරණ කාර්‍යාලයක් වත් නෑ . ගම්පොළ ආසනයේත් නෑ . මේ යටිනුවර ආසනයේවත් සජබ කාර්‍යාලයක් නෑ.

අපි ගෑස් සිලින්ඩරය කණ්ඩායම මෙවර ඉදිරිපත් වෙන්නේ නොවැම්බර් 14 වනදා ජන්දයට පස්සේ 15 වෙනිදා අනුර දිසානායක ගේ ආණ්ඩුව වට්ටලා බලය ගන්න නෙවෙයි . මේ යන විදිහට ආණ්ඩුව අවුරුද්දක් ගෙනියන්න බෑ. ඒ නිසා අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ ගෞරවනීය විපක්ෂයක් හදන්න ශක්තිය එකතු කරන්න කියලයි. මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරනවිට අපි ඉල්ලුවේ අපේ ගෑස් සිලින්ඩරය කණ්ඩායම ශක්තිමත් කරන්න කියලයි . නමුත් අද ඉල්ලන්නේ ගෑස් සිලින්ඩරය කණ්ඩායමේ වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවලා විපක්ෂ නායක ධූරය ගන්න පුළුවන් තත්ත්වයක් අරගෙන දෙන්න කියලයි . මොකද අපි විපක්ෂ නායක ධූරය අරගෙන අවුරුද්දක් යනකොට අනුර දිසානායක ට සිද්ධ වෙනවා අපිට බලය බාරදීමට. අන්න ඒ සඳහා සූදානම් වෙන්න.

අපි මේ දින කිහිපය මහන්සි වෙලා ඒ වෙනුවෙන් අවශ්‍ය ජන්ද පදනම හදමු. ඒ වෙනුවෙන් අපෙන් ඈත් වූ සියලු පිරිස් එකතු කරගමු” යනුවෙන්

COMMENTS