ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් – විදෙස් මාධ්‍ය කියයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් – විදෙස් මාධ්‍ය කියයි

ජාතික ජනබලවේගය ලැබූ අති විශිෂ්ඨ ජයග්‍රහනය පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබුණා.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ විශිෂ්ඨ වෙනසක් බවයි බොහෝ මාධ්‍ය සඳහන් කර තිබුණේ.

බී බී සී පුවත් සේවය ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය සම්බන්ධයෙන් පුවත් වාර්තාකර තිබූ අතර ඔවුන් සඳහන් කර තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානය මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමිකරගෙන ඇති බවයි.

දූෂණයට එරෙහිව සටන් කිරීමට හා රට යළි ස්ථාවර කිරීමට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුට පැහැදිලි බහුතරයක් අත්‍යවශ්‍ය බවයි.

එමෙන්ම අල්ජසීරා වෙබ් අඩවිය ද ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය වාර්තා කර තිබූ අතර ඔවුන් සඳහන් කර තිබුණේ එය වාමාංශික ව්‍යාපාරය ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බවයි.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපතිවරයාට ඉතා බලගතු ජන වරමක් හිමි වී ඇති බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා පැහැදිලි ජනවරමක් හිමි වී ඇති බව ඒ පී පුවත් සේවය ද වාර්තා කරනවා.

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලාංකික ජනතාවට ජාතික ජනබලවේගයට බහුතර බලයක් ලබාදී ඇති බවයි එම පුවත් සේවය පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ප්‍රධාන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලාංකික ජනතාව ජාතික ජනබලවේගයට පැහැදිලි බලයක් ලබා දී ඇති බව එන්ඩී ටීවී පුවත් සේවය වාර්තා කරනවා.

ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්තිමත් බලයක් ඔහුට හිමිව ඇති බවද එම පුවත් සේවය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ දුගී භාවය තුරන් කිරීමට හා ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනතාව පැහැදිලි බලයක් ලබාදී ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරනවා.

ද හින්දු පුවත්පත සඳහන් කරන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව ඇති බවයි.

උතුරු හා නැගෙනහිර ජනතාවගේ සහයෝගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගයට හිමිවීම ඓතිහාසික සිද්ධියක් වන බව ද එම පුවත් සේවය පෙන්වා දෙනවා.

දුෂණයට පිළියම් යෙදීමට සහ අයථා ලෙස රාජ්‍ය දේපළ පරිහරණය කිරීම අත්හිටුවීමට පොරොන්දු වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට සිදුකරගෙන යාම සදහා ඡන්ද දායකයින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ජාතික ජනබලවේගයට ලබා දී ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සඳහන් කරනවා.

ජාතික ජනබලවේගය පාර්ලිමේන්තුවේ බහුතර බලයක් දිනාගැනීම සම්බන්ධයෙන් වියෝන් පුවත් සේවය ද වාර්තා කර තිබුණා