ඉන්දියාවෙන් ගෙන ආ සහල් තොග වෙළෙඳපොළට

ඉන්දියාවෙන් මෙරටට ගෙන් වූ සහල් තොග රේගුවෙන් නිදහස් කර තිබෙනවා.
ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000 ක් රේගුවෙන් නිදහස් කළ බවයි වාර්තා වුණේ.
මේ අතර මෙරට මහාපරිමාන සුළු හා මධ්‍ය පරිමාන සියලුම සහල් මෝල් පරීක්ෂා කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
පාලන මිලට සහල් අලෙවි කිරීම පිළිබඳව ද වැටලීම් ක්‍රියාත්මකයි.
වෙළෙඳපොළේ ඇති වූ සහල් අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ක්‍රියාමාර්ග රැසකට එළඹීමට රජය පියවර ගත්තා.
ඒ අනුවයි සියලුම සහල් මෝල් පරික්ෂා කරමින් වෙළෙඳපොළට නිකුත් කෙරෙන තොග පිළිබඳ වාර්තා ලබාගැනුනේ.
එමෙන්ම සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට ද රජය කටයුතු කළා.
ජනාධිපතිවරයාගේ නියෝග මත ආරම්භ කෙරුණු සහල් මෝල් පරීක්ෂා කිරීම අඛණ්ඩව සිදු කෙරෙන බව පාරිභෝගික අධිකාරිය පවසනවා.
ඒ අනුව පොලොන්නරුව හම්බන්තොට , අම්පාර , ගම්පහ ඇතුලු ප්‍රදේශ රැසක සහල් මෝල් පරීක්ෂා කෙරුණා.
මේ අතර සහල් අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස සහල් තොගයක් ආනයනය කිරීමට රජය තීරණය කළා.
ඒ අනුව ආනයනික පළමු සහල් තොගය මේ වන විට මෙරටට පැමිණ ඇති අතර ඊයේ දිනයේ රේගුව මගින් එම තොග නිදහස් කර තිබෙනවා.
සම්බා සහ සුදු කැකුළු සහල් තොගයකුයි මෙලෙස ආනයනය කර තිබෙන්නේ.
ආනයනික සහල් සඳහා උපරිම මිල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
කැකුළු සහල් කිලෝවක් රුපියල් 210ක් , නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක් සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 230කට අලෙවි කළ යුතු බවටයි එම නිවේදනයේ සඳහන් වන්නේ.
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ අම්බලන්තොට නගරයේ වෙළෙඳසැල් දෙකකට එරෙහිව නඩු පැවරීමට ද පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

