මන්නාරමේ ද්විත්ව ඝාතනය ගැන එළියට ආපු තොරතුරු

මන්නාරමේ ද්විත්ව ඝාතනය ගැන එළියට ආපු තොරතුරු

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා අද (16) සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ.

අදාළ වෙඩිතැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ අතර ඉන් දෙදෙනෙකු මන්නාරම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.

වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත්තේ මන්නාරම, උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිද්ධීන් දෙකකට අදාළ නඩුවක් සඳහා පෙනීසිටීමට මන්නාරම අධිකරණයට පැමිණි පිරිසකි.

අද පෙරවරු 9‍:20ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර දීර්ඝ කාලයක සිට ගැටුමක් පවතින බවත් 2022 වසරේ දී ඝාතන දෙකක්, 2023 වසරේ දී ඝාතන 2ක් සිදුවී ඇති බවත් වාර්තා වෙයි.

ඉන් අනතුරුව අද දිනයේ මෙම ද්විත්ව ඝාතනය වාර්තා විය.

මෙම වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 63 හැවිරිදි සබ්‍රයන් අරුල් සහ 42 හැවිරිදි සෙල්වකුමාර් ජූඩ් නමැති දෙදෙනෙකි.

වෙඩික්කරුවන් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වෙන ආකාරයේ යතුරුපැදි හිස්වැසුම් පැළඳ සිට ඇති බවත් වෙඩික්කරුවන් දෙදෙනෙගෙන් එක් අයෙක් යතුරුපැදියෙන් බැස වෙඩිතැබීම සිදුකර තිබූ බවත් අනාවරණය වී ඇත.

2022.06.10 වන දින උයිලන්කුලම ප්‍රදේශයේදී තිරික්කල් තරගයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ සිද්ධියක් මුල් කරගෙන සහෝදරයින් දෙදෙනෙක් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

එම සිද්ධියට අදාළ නඩු විභාගය අද (16) මන්නාරම අධිකරණයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර එම අවස්ථාවේදී මෙම ද්විත්ව ඝාතනය සිදුකර තිබුණි.

COMMENTS