මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය
එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්ෂණික සහාය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදුකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධව සම්බන්ධීකරණ සාකච්ඡාවක් වාරිමාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (ජන 16) කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පැවැත්වුණා.
මෙම සාකච්ඡාවේදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයත් තාක්ෂණික දැනුමත් යන්ත්‍ර සුත්‍ර යොදා ගැනීම සඳහාත් අවධානය යොමු වී තිබෙනවා.
එමෙන්ම අස්වනු නෙලන කාලය වන විට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමකර මහකන්නයේ අස්වනු මිලදී ගැනීම සඳහා සූදානම් කිරීමටත්, වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්ෂාව සැපයීමටත්, ආරක්ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකල අතර Clean Sri Lanka හී තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නන්වනු ලබනවා.
දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර සතොස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතිනවා.
එම ගබඩාවන් හී පවතින අඩුපාඩුකම් හා ගතයුතු පියවර මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව පැමිණි සිටි පාර්ශ්වයන් මෙම සාකච්ඡාවෙදී අදහස් හුවමාරු කර ගත්තා.
මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එ එල් රාජගුරු මහතා, කලාප කළමණාකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්යක්ෂ ජනරාල් – ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.