ඊශ්‍රායල් කෘෂි අංශයේ රැකියා යළි සක්‍රීය කරන්න පියවර
ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබියදී, ඊට නුසුදුසු පුද්ගලයින් පසුගිය කාලයේ දී දේශපාලනඥයින් විසින් යොමු කිරීම හේතුවෙන් විනාශ වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.
මුදලට වහල් වී මෙරටට ලැබිය යුතු අනගි රැකියා අවස්ථා රැසක් ඔවුන් විසින් අහිමි කළ බව ඔහු සඳහන් කළේ ඊශ්‍රායල් කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව යන පිරිසක් පසුගියදා (2025.01.28) කාර්යාංශයේ දී අමතමින්.
ඊශ්‍රායලය විසින් නවතා තිබූ කෘෂි අංශයේ රැකියා යළි සක්‍රීය කිරීමෙන් පසු පිටත්ව යන පළමු පිරිස මොවුන් වන අතර ඊට 14 දෙනකු ඇතුලත් වෙනවා.
දේශපාලන හිතවත්කම් මත නොව සුදුස්සාට සුදුසු තැන දීම වර්තමානය රජයේ ප්‍රතිපත්තියක් බව ද සභාපතිවරයා සඳහන් කළා.
පසුගිය කාලයේදී කෘෂි අංශයේ රැකියා සඳහා පිටත්ව ගිය පිරිසෙන් 80% පමණ සේවා ස්ථාන වලින් පැන ගොස් ඇති බවත්, ඔවුන් සුදුසුකම් මතද, නොඑසේනම් දේශපාලන හිතවත් කම් නිසා ගිය අය ද යන්න ගැටලුවක් බව කියයි.
තවත් 5000 ක් පමණ කෘෂි රැකියා අපේක්ෂාවෙන් සිටින බැවින්, ඔවනට අවස්ථාව ලබා දිමට නම්, ගිවිසගත් රැකියා ස්ථානවලින් පැන නොයන ලෙසත්, එවන් කටයුතුවලට හවුල් නොවන ලෙසත් කෝශල වික්‍රමසිංහ මහතා රැකියා අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියා.
කෙසේ වෙතත් ඊශ්‍රායල් කෘෂි රැකියා නිවැරදිව කළමනාකරණය කරන බවත්, ඒ අනුව වසරක් දී කෘෂි රැකියා 10,000 ක් පමණ ලංකාවට ලබා ගැනීමට බලාපොරොත්තුවන බවත් කියා සිටියා.
සුදුසුකම් නොමැතිවගිය පිරිස් ගොවිබිම් වල වැඩකිරීමට නොහැකි වීම හේතුවෙන් නියමිත සේවා ස්ථානයෙන් පැන ගොස් විවිධ ස්ථානවල සේවය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.
නමුත් ඔවුන් එලෙස සේවය කිරීම ගිවිසුම් කඩකිරීමක් වන අතර එය නීති විරෝධී බව ද ඔහු සඳහන් කනවා.
මින් ඉදිරියට කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව රැකියා සඳහා සුදුසු අය පමණක් යොමු කිරීමට, කටයුතු කරන බවත්, ඊශ්‍රායල් රැකියාවල නිරතවන අය පිළිබඳ සතියකට වරක් නිරීක්ෂණය කරන බවත් සඳහන් කළා.