වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රැකියාවට ගිහින්

වසරේ මුල් මාස 8ට ලක්ෂ 2ක් රට රැකියාවට ගිහින්

2025 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 212,302 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කාන්තා ශ්‍රමිකයින්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මෙම කාල සීමාව තුළදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලය තුළදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 130,252ක්.

මෙම මාස 8 ක කාලය තුළදී කාන්තා ශ්‍රමිකයින් 82,050 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 53,159 ක්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයින් 41,180 දෙනෙකුද, කටාර් රාජ්‍යයට ශ්‍රමිකයින් 30,263 දෙනෙකුද මෙම කාලය තුළදී පිටත්ව ගොස් තිබෙනවා.

සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලින් බැහැරට යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක්.

ඒ අනුව ජපානයට ශ්‍රමිකයින් 8,015 කුද, දකුණු කොරියාවට 4,324 කු ද රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා.

මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රි ලාංකිකයින් 2025 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට එවා ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

2024 වසරේ මුල් මාස 8 තුල විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.28 ක් වන අතර, ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 19.30 න් ඉහළ ගොස් තිබේ.

එසේම 2025 වසරේ අගෝස්තු මාසය තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 680.80 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙනවා.

2025 වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 7 ක විදේශීය ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබෙනු ඇති බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශ්වාසය පළ කරන්නේ.

COMMENTS