GMO වෘත්තීය සමිති ක්‍රියාමාර් ගය දැඩි කෙරේ

GMO වෘත්තීය සමිති ක්‍රියාමාර් ගය දැඩි කෙරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(02) පෙරවරු 8.00 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව රජයේ වෛද්‍යවරුන් දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ග 05 ට අමතරව අද සිට විශේෂඥ වෛද්‍ය ආවරණ රාජකාරිවලින් ද බැහැර වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වීමෙන් අනතුරුව එම තීරණයට එළැඹි බව එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ ය.

රෝහල් තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,

රෝහල තුළ නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදුකර ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම,

දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම,

අනුමත වෛද්‍යවරුන් සංඛ්‍යාව නොමැතිව රෝහල් පද්ධතිය තුල විවෘත කරන නව රෝහල් වාට්ටු සහ ඒකක වලට වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම අත්හිටුවීම.

රෝගීන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සුරැකීමට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් සහ සහායක කාර්යමණ්ඩලය නොමැතිව රෝගීන් පරීක්ෂා කිරීමෙන් ඉවත් වීම,

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පසුගිය සඳුදා ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඇතුළත් වේ.

අද පෙරවරු 8.00 සිට විශේෂඥ වෛද්‍යවරුන් තමන් අනුයුක්ත කරන ලද රෝහලෙන් බැහැරව ඉන්, පරිබාහිර විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහල්වල සේවාවන් සඳහා රාජකාරි ආවරණය කිරීමෙන් ඉවත් බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය සඳහන් කළේය.

එහෙත්, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංමය පවසන්නේ, තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බවයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න පැවසුවේ සිය සංගමයේ සාමාජිකයින් අද දිනයේ සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සිදු කරන බවයි.

සිය සංගමයේ කිසිදු සාමාජිකයෙකු අද දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා එක් නොවන බව ද ඔහු සඳහන් කළේ ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදි මතුවන ගැටලු නිරාකරණය සඳහා මැදිහත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ, ඒ සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ එරංගා ජයවර්ධන අනුයුක්ත කර ඇති බවයි.

ඒ අනුව, දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී රජයේ වෛද්‍ය නිලදාරීන් මුහුණදෙන ගැටළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත දැනුම්දිය හැකි බව අදාළ නිවේදනයේ සදහන් වේ.