ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය අද ඇරඹේ

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය” අද (06) නිල වශයෙන් දියත් කෙරේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ ආර්ථිකයක් කරා මෙහෙයවීම එහි මූලික අරමුණ වන බවයි.

ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර තිබේ.

එහි අරමුණ, කුඩා පරිමාණ වෙළෙඳුන්ට කිසිදු අමතර වියදමකින් තොරව ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව ලබා දීමයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ ඉතා ශක්තිමත් ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකම් පවතී.

මෙරට වැඩිහිටි ජනගහනයෙන් බැංකු පහසුකම් පවතින ප්‍රතිශතය 89% ක්.

එක් කාර්තුවක් තුළ රුපියල් ට්‍රිලියන 6.3ක වටිනාකමකින් යුත් ගනුදෙනු මිලියන 68 ක් සිදු කරන CEFTS පද්ධතිය මෙන්ම, මූල්‍ය ආයතන 20කට අධික සංඛ්‍යාවක සහයෝගය ඇතිව වෙළෙඳ මධ්‍යස්ථාන හාර ලක්ෂ 50,000 ක පිළිගැනීමට ලක්ව ඇති LankaQR පද්ධතියද අද වන විට සක්‍රීයයි.

කෙසේ වෙතත්, තවමත් මෙරට ආර්ථිකය තුළ රුපියල් ට්‍රිලියන 1.48 ක මුදල් නෝට්ටු සංසරණය වේ.

2025 තුන්වන කාර්තුව වන විට LankaQR මගින් සිදු වූයේ මසකට රුපියල් තුන් ලක්ෂ අනූපන්දහසක් පමණ වූ ඉතා සුළු ගනුදෙනු ප්‍රමාණයක් පමණි.

මෙම පරතරය අවම කිරීම සඳහා අද ඇරඹෙන ව්‍යාපෘතිය යටතේ විශේෂ උපායමාර්ග කිහිපයක් ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

QR භාවිතය දිරිමත් කිරීම සඳහා පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වන අතර, එහිදී සතිපතා සහ මාසිකව පළමු, දෙවන සහ තෙවන ජයග්‍රාහකයින් සඳහා රුපියල් ( මිලියනයක් )1,000,000 දක්වා වූ වටිනා ත්‍යාග දිනා ගැනීමටත් අවස්ථාව හිමියි.

මෙම වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ජාතික මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපාරයක් ද අද සිට ආරම්භ වේ.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සැකසූ “සමාජ දෘශ්‍යතා දර්ශකය” මගින් මෙම වැඩසටහනේ විනිවිදභාවය සහ සාධාරණත්වය සහතික කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාව හුදෙක් තාක්ෂණික පියවරක් තැබීම පමණක් නොව, රටේ අනාගත ගෙවීම් පද්ධතිය ඩිජිටල් සහ සියලු දෙනා ඇතුළත් ආර්ථිකයක් බවට පත් කිරීමේ ජාතික වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරකි.

QR ගනුදෙනු ආරම්භ කිරීම ඔස්සේ වේගවත්, ආරක්ෂිත සහ විනිවිදභාවයකින් යුතු ඩිජිටල් ගෙවීම් හුරුපුරුද්ද ඇති කරමින් කුමන ප්‍රදේශයක ජීවත්වුවද, කුමන භාෂාවක් කතා කළද රටේ සෑම පුරවැසියෙකුම ඩිජිටල් ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

COMMENTS