සෞඛ්‍ය සේවාවට තවත් 2652ක්

සෞඛ්‍ය සේවාවට තවත් 2652ක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය කාර්ය සහායක, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර, ක්‍‍ෂේත්‍ර මදුරු මර්දන සහායක, සුළුසේවා පාලක වෘත්තිකයින් 2652කට ඉදිරි මාසය තුළ පත්වීම් ප්‍රදානයට පියවර ගෙන තිබේ.

ඒ, මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණෙනි.

ඒ අනුව මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙල යටතේ, දීර්ඝ කාලයකට පසු සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගනිමින් බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකුට හෙට (04) දින පත්වීම් ලිපි ප්‍රදාන කිරීමට නියමිතය.

සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් කාණ්ඩ කිහිපයක් යටතේ ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ජූලි 18 දින දෙවන කණ්ඩායම ලෙස සෞඛ්‍ය කාර්ය සහායක 600ක්, අගෝස්තු 01 දින තෙවන කණ්ඩායම ලෙස සෞඛ්‍ය කාර්ය සහායක 762ක් වෙත මෙන්ම ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක 295ක් සහ සුළුසේවා පාලක 121ක් ‍වෙත ද පත්විම් ප්‍රදානය කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම ජුලි 16 දින රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර 247ක් වෙත ද පත්වීම් ප්‍රදානය කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්ය.

COMMENTS