ඇවන්ගාඩ් සේනාධිපති ජ.වී.පෙට බයද ?

ඇවන්ගාඩ් සේනාධිපති ජ.වී.පෙට බයද ?

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැමිණි රැස්වීමකට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ඇවන්ගාඩ් සමාගමේ පිරිසක් විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ඇවන්ගාඩ් සමාගමේ යැයි කියන පුද්ගලයන්ගේ පින්තූර ද පෙන්වමින් ඔහු කියා සිටියේ ප‍්‍රහාරයට පැමිණියේ එම පිරිස බවයි.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේ.

කලගෙඩිහේන පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව පවත්වනු ලැබුවා. සමුළුව පැවැත්වීමට විනාඩි කිහිපයකට කලින් ශාලා භූමියට ඇතුළුවන ගේට්ටුව අසළදී මැර කණ්ඩායමක් විසින් ඉතාම නිර්ලජ්ජිත ප්‍රහාරයක් දියත් කළා. ඒ වනවිට අනුර දිසානායක සහෝදරයා ඇතුළු සියලු ආරාධිතයන් ශාලාවට ඇතුල්වී අවසන් වී තිබුණා. මෙම මැර පිරිස ගේට්ටුව අසළ කලබලකාරී තත්වයක් ඇතිකර ශාලාව දෙසට බිත්තරවලින් දමා ගසා තිබෙනවා.

මෙම පිරිස මෙහෙයවූ අයගේ උත්සාහය වී තිබෙන්නේ මෙය සාමාන්‍ය ජනතාවගෙන් එල්ල වූ ප්‍රහාරයක් ලෙස පෙන්වා දීමයි. පසුගිය දිනවල පිටකොටුවේදීත් මෙවැනිම සිදුවීමක් අපි දැක්කා. තෙල් ටැංකි විකිණීමට එරෙහි ගිවිසුමට එරෙහිව අප විසින් පවත්වන ලද විරෝධතා පා ගමනේදී සංවිධානාත්මක කිහිප දෙනෙක් පැමිණ මේ ආකාරයේ සිදුවීමක් ඇතිකර තිබුණා.

මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිසගෙන් දෙදෙනෙක් එතැන සිටි අය විසින් අල්ලා අප වෙත බාර දී තිබුණා. ඉන්පසු ඔවුන් දෙදෙනා පොලීසියට බාරදී තිබුණා. ඔවුන් කිරීමට උත්සාහ කළ දේ ඡායාරූප සහ වීඩියෝ ගත වී තිබෙනවා. මේ සිද්ධියේදී අල්ලා ගන්නා ලද දෙදෙනා ඔවුන් ත්‍රීරෝද රථ, වෑන් රථවලින් එහි පැමිණි බව ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙක් මහගෙදර විජය ආරච්චිලාගේ රත්මල් අසිත කුමාර විජේරත්න. මෙතන බරපතල ගැටලුව වන්නේ ඔහු තමන්ගේ නම වෙනස් කළ අයෙක් වීමයි. ඔහු 2010 නොවැම්බර් 30වැනිදා තමන්ගේ නම වෙනස් කර තිබෙනවා. ඔහුගේ කලින් නම ගේබ්‍රියල් රත්මල් අසිත කුමාර. ඔහු නම වෙනස් කර ඇත්තේ මෙවැනි ආකාරයේ අපරාධවලට සම්බන්ධ වී සිටීම නිසා යැයි අපට සැක කළ හැකියි. අනෙක් පුද්ගලයා ආනන්ද බණ්ඩාර. ඔහු මන්චි ආයතනයේ සේවය කරන ගමන් පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක සේවය කරනවා. මොවුන් දෙදෙනාම පෞද්ගලික ආරක්‍ෂක සේවයකට සම්බන්ධ වන බව ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. ඔවුන් ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවයේ නිලඇඳුම් ඇඳගෙන සිටීමෙන් මේ බව තහවුරු වෙනවා. මෙම ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ඇවන්ගාඩ් ආයතනයෙන් බව මෙම ඡායාරූපය සනාත කරනවා. එසේම ඔවුන් සිදුකරන ප්‍රකාශවලදී මේ බව පිළිගෙන තිබෙනවා. තමන් හමුදාවේ විශ්‍රාමිකයින් බවත් ඔවුන් පිළිගන්නවා.

මෙම ප්‍රහාරය සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ ඇවන්ගාඩ් වුවමනාව මතයි. පිටකොටුවේ බිත්තර ගැසීමේ සිදුවීම පිටුපසත් සිටින්නේ ඔවුනුයි. මෙම කණ්ඩායමේ අසිත, අබේරත්න, අනිල් නිශ්සංක, සංජීව පෙරේරා, ගෝමස්, රණවීර, ප්‍රීති කුමාර, රාජකරුණා, නිරෝෂන්, රූපසිංහ, අධිකාරි, කාරියවසම්, ජයසිංහ යන අය පිටකොටුව ප්‍රහාරයට පැමිණ තිබෙනවා. කලගෙඩිහේන ප්‍රහාරයට අසිත, අබේරත්න, අනිල් නිශාන්ත, බණ්ඩාර, වසන්ත, මුණසිංහ, සම්පත්, එම්.ආර්., රූපසිංහ, ගෝමස්, අධිකාරී, ප්‍රීති කුමාර, නිරෝෂන්, චමින්ද යන අය පැමිණ තිබෙනවා. මෙම කණ්ඩායම් දෙකම මෙහෙයවා ඇත්තේ ඇවන්ගාඩ් ආයතනය විසින් බව ඉතාම පැහැදිලියි. ඇවන්ගාඩ් අධිපති නිශ්සංක සේනාධිපතියි. ඔහු ගෝටාබය ජනාධිපතිවරයාගේ සමීපතම මිත්‍රයෙක්. ඔහු නිතර ජනාධිපතිවරයා මුණගැසෙනවා. මෙම ප්‍රහාරයන් දෙකම දේශපාලන වුවමනා මත මෙහෙයවූ බව පැහැදිලි වෙනවා. ඇවන්ගාඩ් ආයතනයේ සේවය කරන අය කුලී ගෙවමින් මෙයට යෙදවූ බව හසුව දෙදෙනා විසින් කරන ලද ප්‍රකාශවලින්ම හෙළිවෙනවා. මෙම කොන්ත්‍රාත්තුවට රුපියල් 5000ක් ගෙවූ බව ඔවුන් කියනවා. ඔවුන් මෙතනට හේතුවක් නැතුව ආවේ නැහැ. යනුවෙන් පැවසීය.

අනුර දිසානායකගේ 2015 සැප්තැම්බර් 22 පාර්ලිමේන්තුවේ කතාවක් duishen adaviya Youtube චැනල් එක මගින් ප්‍රචාරය කර තිබෙනවා, අපි එය මෙලෙස ඔබ වෙත ගෙන එනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් දැක්වූ අදහස්