රන්ජන් අධිකරණයෙන් සමාව ගැනීමට සැරසෙයි

රන්ජන් අධිකරණයෙන් සමාව ගැනීමට සැරසෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අද දිනයේ නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඔහුට එරෙහිව විභාග වන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන දෙවන පැමිණිල්ලට මුහුණ දීම සදහා ඔහු මෙසේ කැදවා තිබින.

දැනටමත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඩුවම් විදිමින් සිටින ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවා දායකයා කොන්දේසි විරහිතව කණාගාටුව පළ කරන බවයි.

අධිකරණයට අපහාස කිරීමේ අදහසකින් තම සේවා දායකයා එම ප්‍රකාශය සිදු නොකළ බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් ලබන 25 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අධිකරණය විසින් ජනාධිපති නීතිඥවරයාට දැනුම් දුන්නා.

මෙහි දී ජනාධිපති නීතිඥවරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තම සේවාදායකයා රඟපෑ ද්විත්ව චරිතයක් සහිත චිත්‍රපටයක මංගල දර්ශනය ලබන 24 වන දා පැවැත්වීමට නියමිතව තිබෙන බවත් ඊට තම සේවාදායකයා සහභාගී කරවන ලෙස බන්ධනාගාර නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරුවරයා වගඋත්තරකරු සිර දඬුවම් නියම වී සිටින්නේ, මෙම නඩුවට නො වන බව සඳහන් කළා.

එබැවින් එවැනි නියෝගයක් නිකුත් කිරීමට තම අධිකරණයට හැකියාවක් නොමැති බව සඳහන් කළ විනිසුරුවරයා බන්ධනාගාර නීතීන්ට අනුව කටයුතු කිරීමට වගඋත්තරකරුට සිදු වන බවත් පෙන්වා දුන්නා.

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී රන්ජන් රාමනායක සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූයේ යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.