ඖෂධ – වෛද්‍ය උපකරණ කඩිනමින් පරිත්‍යාග කරන්න

ඖෂධ-වෛද්‍ය උපකරණ කඩිනමින් ලබා දෙන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් දිනෙන් දින අවදානමට ලක්වෙමින් පවතින අහිංසක රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හැකි ඉක්මනින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලා සිටියි.
විදෙස් සංචිත සිඳීයෑමත්, ඩොලර් හිඟයත් හේතුවෙන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගෙන්වා ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් පවසන පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රෝහල් පද්ධතියම දැඩි අර්බුදයකට මුහුණදී තිබෙන බව ද පවසයි. ඉතා ඉක්මනින් මේ තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පියවරක් නොගතහොත් ඉදිරියේ දී මෙරට සමස්ත සෞඛ්‍ය පද්ධතියම දරුණු කඩා වැටීමකට ලක්විය හැකි බවට ද ඔවුන් අනතුරු අඟවා ඇත.
ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද අනුමැතිය ඇතිව, ලේඛනයේ ඇති සහ නැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග ලෙස මෙරටට ගෙන්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති අතර, එම ඖෂධ රෝගීන් වෙත සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට කටයුතු කරන බවට ද සංගමය විසින් සහතිකයක් ලබාදී ඇත.
මේ සඳහා දායකවීමට බලාපොරොත්තු වන පරිත්‍යාගශීලීන්ට +94 0777755171 (ආචාර්ය ආනන්ද කුරුප්පු ආරච්චි – සභාපති), +94 0773497515 (වෛද්‍ය සුනිල් රත්නප්‍රිය – ලේකම්) යන දුරකථන අංක හෝ pnh.info@yahoo.com සහ sunilratnapreya54@gmail.com ඊමේල් ලිපින ඔස්සේ පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය සමග සම්බන්ධ විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

