නාමල්ගේ රග්බි ගැසට්ටුව අත්හිටුවයි

නාමල්ගේ රග්බි ගැසට්ටුව අත්හිටුවයි

ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ජුනි මස 30 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (13) අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති එම්. රිස්ලි ඉල්යාස් විසින් ගොනුකර තිබූ පෙත්සමක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුවය.

බස්නාහිර පළාතේ රග්බි සංගමය සිය වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම නිසා එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස එවකට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ 2019 වසරේදී ශ්‍රී ලංකා රග්බි සංගමයට උපදෙස් දුන් බව පෙත්සමෙහි සදහන්ව තිබේ.

එම වසරේදීම එම මුදල් සියල්ල ගෙවූ බව පවසන බස්නාහිර පළාත් රග්බි සංගමය එම රිසිට් පත් සියල්ල ඉදිරිපත් කළ බවද පෙත්සමේ සඳහන් කර ඇත.

එසේ තිබියදී නීතිපති උපදෙස් ලබාගැනීමකින් තොරව ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා රග්බි සංගමයේ බලපත්‍රය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර අප්‍රේල් මස 01 වැනිදා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවද පෙත්සමේ සඳහන් කර තිබේ.