නිවැරදි ස්ථානයක් නොමැති වීමෙන් නැඳුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු නවතී

නිවැරදි ස්ථානයක් නොමැති වීමෙන් නැඳුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු නවතී

ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ දේහය සංරක්ෂණ කටයුතු ඇනහිට ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සිරුර සංරක්ෂණය කරන ස්ථානය පිළිබඳ අවසන් තීරණයකට නොපැමිණීම හේතුවෙන් මෙසේ සංරක්ෂණ කටයුතු ඇනහිට ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් පෙන්වා දෙයි.

දළදා කරඬුව වැඩමවූ හස්තිරාජයා වන නැදුන්ගමුවේ රාජා 69 වන වියේදී මියගියේ ඉකුත් මාර්තු 7 වන දා ය. රාජාගේ දේහය සංරක්ෂණය කොට සකස් කිරීමට කෞතුකාගාර දෙපාර්තමේන්තුව සැලසුම් කළ අතර එයට රාජ්‍ය අනුග්‍රහය ද ලැබිණි.

ඒ අනුව, කෞතුකාගාර නිලධාරීන් හස්තියාගේ සම ඉවත්කොට සංරක්ෂණය කොට ඇතත් එම නිර්මාණය තැන්පත් කරන ස්ථානය ගැන මේ වනතුරුත් තීරණයකට එළැඹීමට නොහැකි වීමෙන් ඉදිරියේ ගැටලු ඇති විය හැකි යැයි කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් දින පතා පලවෙන පුවත් පතකට පවසා ඇත.

විශේෂයෙන් දැනට සංරක්ෂණය කර ඇති සම කල්යත්ම සකස් කිරීමේදී නිශ්චිත ප්‍රමාණයට ඇදිය නොහැකි වන බැවින් එම නිර්මාණය සකස් කිරීම ඉක්මනින් ඇරඹිය යුතු යැයිද ඔහු කියා සිටියේ ය.

මේ වනවිට එය ඉදිකිරීම සඳහා ස්ථාන දෙකක් ගැන යෝජනා පැමිණ ඇති නමුත් එක් ස්ථානයක් නිශ්චය කරගෙන නැති බවත් හෙතෙම ප්‍රකාශ කර ඇත.