මහින්ද, දේශබන්දු අත්අඩංගුවට ගන්න, සංවිධාන 34ක් නීතිපතිට ලියයි

ජනාධිපති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, හිටපු අගමැති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ඉල්ලා සංවිධාන 34ක් සහ ක්‍රියාකාරීන් 82ක් නීතිපති සංජය රාජරත්නම් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
අදාළ ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ පිරිස මැයි 9 වන දා ගෝඨාගෝගම සහ මයිනාගෝගම සාමකාමී අරගලයට පහර දීමට ආධාර අනුබල දීම සහ පහර දීම සිදු කළ බව ය.
පොලිසිය, හමුදාව ඇතුළු ආයතන හරහා ආණ්ඩුව සිදු කරන පුරවැසි අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීමට උපදෙස් දෙන ලෙස ද ඔවුන් නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
මේ අතර පොලිස්පතිවරයාගේ නියමය පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකිරීම් සහ පත්කිරීම් සිදුකර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබෙනවා. එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති එස් පී රණසිංහ මහතා නුවරඑළිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්න්නේ.

