IPL අවසන් සටන අදයි

IPL අවසන් සටන අදයි

ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අහමදාබාද් හිදී අද (29) රාත්‍රියේ පැවැත්වෙනවා.

මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ අයි.පී.එල්. තරගාවලියට නවකයන් වූ ගුජරාට් ටයිටන්ස් පිල සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ ධුරය හොබවන රාජස්ථාන් රෝයල්ස් පිලයි.

2008 වසරේ සමාරම්භක අයි.පී.එල්. තරගාවලියේදී ෂේන් වෝන්ගේ නායකත්වයෙන් යුත් රාජස්ථාන් රෝයල්ස් පිල ශූරතාව ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලබා ඇත්තේ ප්‍රථම වරටයි.

රාජස්ථාන් පිලේ විදේශීය ක්‍රීඩකයෙකු වන එංගලන්ත ක්‍රීඩක ජොස් බට්ලර් සඳහන් කළේ පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත වූ ෂේන් වෝන් කොතැනක සිට හෝ තම කණ්ඩායමේ දස්කම් පිළිබඳ සතුටු වනු ඇති බවයි.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ ඉනිම 16 කදී ලකුණු 824 ක් රැස් කරගෙන සිටින බට්ලර්ගේ දස්කම් අසමසම බව රාජස්ථාන් ක්‍රිකට් අධ්‍යක්ෂ සංගක්කාර ප්‍රකාශ කළා.

ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංග ද රාජස්ථාන් රෝයල්ස් පිලේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරනවා.

හාර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් පිලට ද ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වන අතර, විශේෂයෙන් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂිඩ් ඛාන්ගේ පන්දු යැවීම රාජස්ථාන් පිතිකරුවන්ට අභියෝගයක් වනු ඇති.

COMMENTS