සත්තු වත්තේ සත්තුන්ටත් කන්න නෑ

සත්තු වත්තේ සත්තුන්ටත් කන්න නෑ

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීන් පවසනවා.

අද (31) පෙරවරුවේ වනජීවි දෙපාර්තමේන්තුවේදී මීට අදාළව සාකච්ඡාවක් පැවති අතර එහිදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහිදී අවධාරණය කර ඇත්තේ, අන්දමට විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණිම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් බවයි.

සත්වෝද්‍යානවලට ආහාර සැපයුම සිදු කළ සැපයුම්කරුවන්ට මේවනවිට රු.මි.59ක මුදලක් හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදුව තිබෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් එම මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහ භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර, පියවර ගැනීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා..

සතුන් සමඟ උනන්දුවක් දක්වන ජනතාවගේ සහයෝගය මත සතුන් රැක බලා ගැනීමේ ආයතනවල කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන්.

පවතින ආර්ථික අර්බුදය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද දැඩි සේ බලපෑම් එල්ල කර ඇති අතර මෙම සතුන් රැක බලා ගැනීම සඳහා රජය විසින් සියලු පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.