පොදු ප්‍රවාහනය ගැන ගත් අලුත්ම තීරණය

පොදු ප්‍රවාහනය ගැන ගත් අලුත්ම තීරණය

මගී ආකර්ෂණය ඇති වන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ,කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (09) පස්වරුවේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳව පැවති සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් ව සිටින බවත් ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බවත් ජනාධිපතිතුමා එහිදී පවසා සිටියා

දුම්රිය හා බස් රථ සඳහා අඛණ්ඩව තෙල් සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරුණා

ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධනහල් මගින් රාත්‍රී කාලයේ පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීමට පියවර ගැනීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා

Park & Drive ක්‍රමය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ජා කර ඇති අතර ඒ සඳහා රථවාහන ගාල් කිරීමේ දී අයකරන ගාස්තු අඩු කිරීමටත් තීරණය කෙරුණා

අතර තෝරාගත් දුම්රිය ස්ථාන ආසන්නයේ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ හැකියාව සොයා බලන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී බලධාරීන්ට උපදෙස් දුන්නා .

ලංගම සහ පෞද්ගලික බස්රථ සඳහා දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කෙටි ධාවනය සඳහා යොදා ගැනීමට යෝජනා කෙරුණ අතර කාර්යාල සේවය ඉලක්ක කර ගනිමින් නව දුම්රිය ගමන් වාර ඇරඹීමට සහ දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමටත් පියවර ගැනීමට මෙහිදී යෝජනා වී තිබෙනවා

ලංගම සේවක වැටුප් ගැටලුව විසඳීමට එකඟතාව පළ වූ අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේදී ම ඉදිරිපත් කිරීමටද නියමිතයි.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ආහාර බෝග වගා සඳහා වසරක කාලයකට බදු දීමට සැලසුම් කර තිබෙන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගොවි සමිති සඳහා ඉතා සුළු බදු මුදලක් යටතේ අදාළ ඉඩම් ලබා දීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.