කඩිනමින් ගෑස් නැව් දෙකක් ගෙන්වා ගැනීමට සාකච්ඡා

ඉදිරියේදී ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන ගිවිසුමේ කටයුතු ලබන අඟහරුවාදා (21) වන විට අවසන් කරන බව ලිට්රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ, ඕමාන සමාගමකින් මෙම ගෑස් තොගය මිලදී ගැනීමට කටයුතු කරන බවයි.
අදාළ සමාගම සමග මෙම ගිවිසුම සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡා කිහිපයක් ද මේ වන විට පවත්වා අවසන් බවයි සභාපතිවරයා සඳහන් කළේ.
කැබිනට් තීරණයකට අනුව ඉදිරි මාස 4ක කාලය සඳහා මෙලෙස ගෑස් මෙට්රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
එමෙන්ම මෙම ගිවිසුමට අමතරව ඉදිරි දින කිහිපය තුළ කඩිනමින් ගෑස් නෞකා 2 ක් මෙරටට ලබා දෙන ලෙස ද අදාළ සමාගමෙන් ඉල්ලීමක් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළා.
මේ අතර ඉන්දීය ණය පහසුකම යටතේ දිවයිනට ළඟා වූ අවසන් නෞකාවෙන් රැගෙන ආ ඩීසල් මෙට්රික් ටොන් 40,000 බෙදා හැරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිතයි.
තවත් පෙට්රල් මෙට්රික් ටොන් 41,000 ක නෞකාවක් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වන විට ණයවර ලිපි විවෘත කර තිබෙනවා.
එමෙන්ම ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයිනේ ප්රදේශ රැසකම ජනතාව තවදුරටත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

