කහ ඇඳුම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

කහ ඇඳුම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

ඔස්ට්‍රේලියාවට ස්තූති කිරීමට කහ වර්ණයෙන් සැරසී පැමිණෙන ප්‍රේක්ෂකයන්ට සහාය දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන්ට කහ වර්ණයෙන් සැරසී අද තරගයේ රාජකාරී සඳහා පැමිණෙන ලෙසට එම ආයතනය ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා අද රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ බව කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා.

“අපිට ඉතාමත් ආඩම්භරයක් සහ සන්තෝෂයක් අපි බලාපොරොත්තු වුනාට වඩා සාර්ථකව මේ තරගාවලිය පැවැත්වීමට අපිට හැකි වුණා. ඒ නිසා මම ස්තූති කරන්න ඕන අපේ ක්‍රීඩා ලෝලීන්ට ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ පැමිණීම විශේෂයෙන්ම, අපි ගහපු මැච් 7ම ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියා ප්‍රේක්ෂකයින්ගෙන්. ඒක ලොකු ආඩම්භරයක් අපිට. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදියට කහ ඇඳුමින් සැරසිලා එන එකට අපේ සහයෝගය දෙන්න අපි තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම කියල තියෙනවා අපේ කාර්ය මණ්ඩලයට කහ ඇඳුමින් සැරසී අනිත් අයට සහයෝගය දෙන්න කියලා. ප්‍රථමයෙන්ම ඒක පටන්ගත්ත අයට ස්තූතිවන්ත වෙන්න ඕන ඒ වගේ අදහසක් ඔවුන්ට ඇවිල්ලා ඒ වගේ ප්‍රතිචාරයක් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දෙන්න තීරණය කිරීම ගැන.” යනුවෙන් පවසා සිටියා.

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පස්වන සහ අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.