තෙල් ගන්න ඇමතිවරුන් දෙදෙනෙක් හෙට රුසියාවට – IOC තවත් ඉන්ධන හල් ඉල්ලයි

ඉන්ධන මිල දී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේස්කර මහතා පවසයි.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ, වෙනත් රාජාතාන්ත්‍රික කටයුත්තක් සඳහා සහභාගි වන අතරතුර ඔවුන් අදාළ සාකච්ඡා සඳහා එක් වීමට නියමිත බව ය.
මේ අතර, මේ වන විට රට තුළ ඩීසල් මෙට්‍රික් ටොන් 9,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,000ක් ඉන්ධන සංචිත තිබෙන බව අමාත්‍යවරයා පැවසීය. හෙට (27) දිනයේ ලංකා අයි.ඕ.සී සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් මිල දී ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.
එමෙන්ම තම ඉන්ධන හල් සංඛ්‍යාව වැඩි කිරීමට හෝ සිපෙට්කෝ ඉන්ධන හල් කිහිපයක් තමන්වෙත ලබාදෙන ලෙස ලංකා ඉන්දීය තෙල් සමාගම ඉල්ලා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ සඳහා අවසර දීමට හැකියාව ඇති නමුත් ඉන්ධන ගෙන්වීම වෙනුවෙන් මහ බැංකුවෙන් ඩොලර් ලබාදීම වෙනුවට ඉන්දීය තෙල් සමාගම හරහා තෙල් මිලදීගැනීමට ක්‍රමයක් ඇත්දැයි සලකා බලන ලෙස ඔවුන්ට දන්වා ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය

