ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක් – සුළං තත්ත්වය තව දුරටත්

ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක් – සුළං තත්ත්වය තව දුරටත්

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් පවතින සුළං තත්ත්වය අද (04) දිනටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට විට වැසි ඇතිවන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් විටින් විට පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

පුත්තලම සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ද මඳ වශයෙන් රළු ස්වභාවයක් ගත හැකි අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස (මීටර්. 2.5 – 3.5 ක් පමණ) ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතිනවා.

එබැවින් කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

COMMENTS