පොලිස් ඇඳිරි නීතිය නීති විරෝධීයි නීතිඥ සංගමයෙන් නිවේදනයක්

පොලිස් ආඥා පනතේ ඇඳිරි නීතිය පැනවීමට ප්‍රතිපාදන නොමැති බවත්, එබැවින් රජය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය ‘නීති විරෝධී සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක්’ බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඊයේ රාත්‍රී 9 සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතකට බලපැවැත්වෙන පරිදි පොලිස්පති සි. ඩී වික්‍රමරත්නගේ නියෝග පරිදි පොලිස් ඇඳිරි නීතිය පැන වුණා.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් පවසන්නේ මෙරට නීතියට අනුව පොලිස් ඇඳිරි නීතිය කියා දෙයක් නොමැති බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය හදිසියේ පැණවූ හදිසි නීතිය සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය සහ විරෝධතාව ප්‍රකාශ කරන බව මෙම නිවේදනයේ සඳහන්.
පොලිස් ආඥා පනත අනුව මෙලෙස හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පොලිස්පතිවරයාට කිසිදු ප්රතිපාදනයක් නොමැති අතර එම ඇඳිරි නීතිය පැනවීම නීති විරෝධී සහ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහසයි.
මෙරට සාමාන්‍ය ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ රජයට එරෙහිව විරෝධය ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ අවශ්‍යතා සපුරාලීමට රජය අසමත් වී ඇති නිසාවෙන් බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ.
එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පති වරයාගෙන් ප්‍රශ්න කරනුයේ මෙලෙස ඇඳිරි නීතිය පැන වුයේ කුමන ප්‍රතිපාදන සහ බලාධිකාරයක් යටතේද යනුවෙනුයි.

