ශ්‍රී ලාංකික පුරවැසියන් අගමැති කාර්යාලයට ඇතුළු වූ අවස්ථාවේ ඡායාරූප

කොළඹ මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය ඉදිරිපිට අද (13) උදෑසන සිට විරෝධතාකරුවන් විශාල පිරිසක් රැස් ව සිටියා.
පොලිසිය හා යුද හමුදාව ඔවුන් පාලනය කිරීමට විවිධ උත්සාහයන් ද ගෙන තිබුණා.
කඳුළු ගෑස් හා ජල ප්‍රහාර විරෝධතාකරුවන් වෙත අඛණ්ඩ ව එල්ල කිරීමට ද ඔවුන් කටයුතු කළා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය කාර්යාලය වටා දිවයිනේ නන් දෙසෙන් පිරිස් පැමිණෙමින් විරෝධතා ව්‍යාපාරය දැඩි තීව්ර තත්ත්වයකට ගෙන ඒමට පියවර ගෙන තිබුණා.
ඔවුන් ආරක්ෂක අංශ සියලු බාධා බිඳ දමමින් අගමැති කාර්යාලයට ඇතුළු වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ තාප්පයට යාබද ගස් මතට නැඟී එමඟින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඇතුළට ඔවුන් ගොස් තිබෙනවා. සමහරුන් එකෙනෙකාගේ කර මත නඟිමින් අග්‍රාමාත්‍ය කාර්යාලය තාප්පයෙන් ඇතුළු වී තිබෙනවා.
මෙහි දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලැබූ පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇති බව ද සඳහන් වනවා.









