ජනපති සටනට නාම යෝජනා කැඳවීම අද පෙරවරුවේ

ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද (19) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරෙනවා.
ඒ සඳහා පාර්ලිමේන්තුව පෙරවරු 10ට රැස් වීමට නියමිත යි.
නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවන නිලධාරියා හෙවත් තේරීම් භාර නිලධාරියා ලෙස පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක කටයුතු කරනවා.
මෙරට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම පිළිබඳ පළමු අත්දැකීම වාර්තා වන්නේ 1993 වසරේදීයි. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ අභාවය හේතුවෙන් එවක වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ ඩී.බී. විජේතුංග ජනාධිපතිධුරයට ඒකමතිකව පත් කරනු ලැබුවා.
ඒකමතිකව අදාළ පත්වීම සිදු කිරීම හේතුවෙන් එම අවස්ථාවේ දී ඡන්ද විමසීමක් සිදු වුණේ නැහැ.
එහෙත් මෙවර ජනාධිපති අපේක්ෂකත්වයට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව හෙට පැවැත්වෙන ඡන්ද විමසීම මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයට නව අත්දැකීමක් වනු ඇති.
මේ අතර පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා ප්‍රකාශ කළේ, නාම යෝජනා කැඳවන අද දිනයේ දී හා ඡන්ද විමසීම සිදු කරන හෙට දිනයේදීත් පාර්ලිමේන්තුව සහ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි.

