රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද පෙරවරුවේ

රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද පෙරවරුවේ

මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ අද එම ධූරයේ දිවුරුම්දීමට නියමිතයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අගවිනිසුරුවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදු කිරීමට යි සැලසුම් කර ඇත්තේ.

මෙරට අටවන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා ගත් බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා.

8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ඊයේ තේරී පත් වුණා.

පාර්ලිමේන්තුවේ ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 134ක් ලැබුණු අතර, ඒ සඳහා තරඟ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට ලැබුණේ ඡන්ද 82ක් පමණයි.

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ඡන්ද 3ක් ලැබී තිබුණා.

මේ අතර, අභිනව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු පිවිසුම වෙත පැමිණ පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතුවල නිරත වූ ආරක්ෂක අංශ සාමාජිකයින් හමු වී තිබුණා.

එහි දී ඔහු සඳහන් කළේ, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැප වූ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු සියලු දෙනාට තමන් ප්‍රණාමය පුද කරන බවයි.

එසේම, ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ ඊයේ පස්වරුවේ කොළඹ – හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වලද නිරත වුණා.