විදේශ තැපැල් ගාස්තු සංශෝධනයට

විදේශ තැපැල් ගාස්තු සංශෝධනයට

එළඹෙන අගෝස්තු මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සංශෝධිත තැපැල් ගාස්තු ජූලි මස 19 වැනි දින සිට අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සංශෝධිත නව විදේශ තැපැල් ගාස්තු යටතේ අගෝස්තු 01 වැනි දින සිට කවුළුවෙන් භාර ගන්නා සෑම විදේශ තැපැල් භාණ්ඩයක් සඳහාම ගාස්තු අය කිරීමට කවුළු නිලධාරින් ක්‍රියා කළ යුතු වනවා.

එමෙන්ම නව විදේශ තැපැල් ගාස්තු සම්බන්ධව කාර් යාලයට හෝ කවුළුවට පැමිණෙන පාරිභෝගික මහජනයා දැනුවත් කිරීමට සුදුසු වැඩපිළිවෙළක් යෙදීමට හා සියලුම කාර් යභාර තැපැල් ස්ථානාධිපතිවරු ක්‍රියා කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම චක්‍රලේඛය තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

ගුවන් හා මුහුදු තැපැල් ක්‍රියාත්මක රටවල විස්තරය, මාසිකව හා අවස්ථානුකූලව නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) විසින් ප්‍රසිද්ධියට පත් කෙරෙනු ඇති.

එය https:epay.slpost.lk වෙබ් පෝටලයේ පළ කිරීමට නියමිතයි.

මෙම සේවා ගාස්තු සංශෝධනය යටතේ සාමාන්‍ය ගුවන් තැපෑල සඳහා ගාස්තු අය කිරීම, U-Packet සේවාව ක්‍රියාත්මක කිරීම, EMS සේවය සඳහා ගාස්තු ගණනය කිරීම, විදේශ පාර්සල් සේවය සඳහා බර සීමාවන් ආදිය යටතේ ද මෙම මිල ගණන් සංශෝධනය වී තිබෙන බවයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත කේ. රණසිංහ නිවේදනය කරනවා.