හැමෝම කරපු වැරදි ගෝඨාභය පිටින් ගියා – ගැටඹේ රාජෝපවනාරාමාධිපති

හැමෝම කරපු වැරදි ගෝඨාභය පිටින් ගියා – ගැටඹේ රාජෝපවනාරාමාධිපති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් සුරක්ෂිත කරලීම පිළිබඳ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කර තිබෙනවා.

ඉතිහාසයේ කිසි දා නොවූ විරූ දේශපාලන හා සාමාජික අර්බුද රැසකට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බව උන් වහන්සේ සිය ලිපිය ආරම්භයේ දී ම අවධාරණය කරනවා.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ අතිමහත් ජනවරමකින් ජනාධිපති ධූරයට පත් වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ස්වකීය ද්විත්ව පුරවැසිභාවය පවා අහිමි කරගත්තේ, ශ්‍රී ලංකාවට අවංක සේවයක් ඉටු කිරීමේ අරමුණෙන් බව යි උන්වහන්සේ පවසන්නේ.

වසර 74ක දේශපාලන ඉතිහාසය තුළ සෙසු අය ද සිදු කළ සියලු වැරැදිවල අනිසි විපාක විඳින්නට සිදු වුණේ, වැරැදි නො කළ සාමකාමී ගෝඨාභය රාජපක්ෂට බවත් සාමාන්‍ය පුරවැසියෙකුට තම රට තුළ හිමි විය යුතු ජීවත් වීමේ වරප්‍රසාදය ද එතුමාට අහිමි වී ඇති බවත් කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් සඳහන් කරනවා.

එසේ තම රටෙන් පිට වී සිටීමට ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය නො වන බව පවසන උන්වහන්සේ, ඔහු මෙම රටේ ගෞරවණීය පුරවැසියෙකු මෙන් ම අපට රටක් හිමි කර දුන් ප්‍රබල පුරවැසි උරුමකරුවකු බව ද අමතක නො කළ යුතු බව යි ප්‍රකාශ කරන්නේ.

ලක්ෂ 69ක මහජන ජන වරමකින් ජනාධිපති ධුරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ, බහුතර සිංහල බෞද්ධ පුරවැසියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමේ අපේක්ෂාවෙන් සිටිය ද කොරෝනා වසංගතය ඊට එදිරි වූ බව ද කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් අවධාරණය කරයි.