ලලිත් කුහන් නඩුවට ගෝඨාභය ඇවිල්ලා නෑ (වීඩියෝ)

ලලිත් කුහන් නඩුවට ගෝඨාභය ඇවිල්ලා නෑ (වීඩියෝ)

2011 දෙසැම්බර් 10 වැනි දා ලලිත් කුමාර් වීරරාජු හා කුහන් මුරුගානන්දන් යන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයන් දෙදෙනා පැහැර ගැනීමකට ලක් වී තිබුණා.

ඔවුන් දෙදෙනා ජන අරගළ ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික්කය තුළ කටයුතු කරමින් සිටිය දි යී මෙසේ පැහැර ගැනීමකට ලක් වී තිබුණේ.

ඒ අනුව 2018 නොවැම්බර් 13 වැනි දා සිද්ධිය පිළිබඳ සාක්ෂි ලබා දීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ල පැමිණ ඇති අතර, ඔහු එහි දී ප්‍රකාශ කර ඇත්තේ, ලලිත් කුහන් දෙදෙනා අත් අඩංගුවට ගත් බව තමන් ප්‍රකාශ කළේ, ආරක්ෂක අමාත්‍යාංශය හරහා විමසූ කරුණු මත හා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත බව යි.

ඒ අනුව ලලිත්, කුහන් දෙදෙනාට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශය හොඳින් දැන සිටින්නට ඇති බව, ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළා.

එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යි.

ඒ අනුව 2019 මැයි 3 වැනි දා අදාළ සිද්ධිය පිළිබඳ සාක්ෂි ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂට යාපනය අධිකරණයට පැමිණෙන ලෙස අධිකරණය දැනුම් දී තිබුණා.

නමුත් පෞද්ගලික අසීරුතාවක් මත අදාළ දිනයට තමාට සාක්ෂි ලබා දීම සඳහා පැමිණීමට නො හැකි බව යි ගෝඨාභය රාජපක්ෂ තම නීතීඥවරුන් මාර්ගයෙන් දැනුම් දී ඇත්තේ.

2019 ජූලි 21 වැනි දාට අධිකරණය නැවත දිනයක් ගෝඨාභය රාජපක්ෂට නියම කළ අතර, ඒ වතාවේ ද ඔහු සිංගප්පූරු රෝහලට ප්‍රතිකාර ලබන බව දැනුම් දී තිබුණා.

නැවත 2019 සැප්තැම්බර් 27 නඬුව කැඳවීමටයි අධිකරණය නියෝග කර තිබුණේ.

නමුත් මහේස්ත්‍රාත් අධිකරණය නඩුවක කැඳවීමට පෙර, සැප්තැම්බර් මස 24 වැනි දා ගෝඨාභය රාජපක්ෂගේ නීතීඥයන් අභියාචනාධිකරණයට ගොස් අතුරු තහනම් නියෝගයක් ගෙන තිබුණේ, ආරක්ෂක හේතුන් මත ගෝඨාභය රාජපක්ෂට නඩුව සඳහා පැමිණිය නො හැකි බව පවසමින්.

නමුත් ජනාධිපති මුක්තිය යන ව්‍යවස්ථාමය තර්කය මත ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය ඉදිරියේ තීන්දුවක් ලබා ගෙන තිබුණා.

ඒ, තමාගේ සාක්ෂිය මෙම නඩුවට අදාළ නැති බවත් තමාගේ ජනාධිපති මුක්තිය මත අධිකරණයට පැමිණීම අනවශ්‍ය බවත් සඳහන් කරමින්.

නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදහස් දක්වමින් කියා සිටින්නේ, මෙම අභියෝගය ගෝඨාභය රාජපක්ෂට විත්තිකරුවකු ලෙස වත් ජනාධිපතිවරයා ලෙස සිදු කළ කාර්යක් ලෙස වත් එල්ල නො කරන බව යි.

එය හුදෙක් ම නඩුවට අදාළ සාක්ෂියක් ලබා දීම යන කාරණය සඳහා පමණක් අදාළ බව යි ඔවුන් සඳහන් කරන්නේ.

එනම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටින කාලය තුළ සිදු වූ සිදුවීමක් ගැන සාක්ෂියක් ලෙස පමණක් වන බව යි.

නැවත ඊයේ 2022 අගෝස්තු 2 වැනි දා මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවුණු අතර, එයට ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශවය නො පැමිණ තිබෙනවා.

ඒ නිසා නැවත අධිකරණය ලබන ඔක්තෝබර් 19 වැනි දාට මෙම නඩුව කැඳවීමට යි තීරණය කර ඇත්තේ.

ලලිත් කුමාර් වීරරාජු හා කුහන් මුරුගානන්දන්ගේ අතුරුදන් වීම පිළිබඳ මෙම නඩුවට අදාළ නීතිමය මැදිහත් වීම් දිගින් දිගට ම සිදු කරන බව යි පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් පුබුදු ජයගොඩ මාධ්‍ය හමුවේ සඳහන් කළේ.