වගන්ති දෙකක් නෙවෙයි, හදිසි නීතිය මුළුමනින්ම ඉවත් කර ගත යුතුයි – අරගලකරුවෝ

වගන්ති දෙකක් නෙවෙයි, හදිසි නීතිය මුළුමනින්ම ඉවත් කර ගත යුතුයි – අරගලකරුවෝ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ ඉකුත් ජූලි මස 18 වැනිදා නිකුත් කෙරුණු හදිසි අවස්ථා නීතියෙන් සෝදිසි කිරීම සහ අත්අඩංගුවට ගැනීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව Black Cap Movement, PLUS ONE (+1) – රටවෙනුවෙන් මමත් එකෙක්, ලිබරල් සහෝදරත්වය, සර්වපාක්ෂික අරගලකරුවෝ, Youth Center – අරගල බිමේ තාරුණ්‍යය යන කණ්ඩායම් ඒකාබද්ධ නිවේදන නිකුත් කරමින් කියා සිටින්නේ, හදිසි නීති පනත් කෙටුම්පතෙන් එම වගන්ති දෙක පමණක් නොව හදිසි නීතිය ම මුලුමනින් ඉවත් කර ගත යුතු බවයි.

එසේ ම ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ, ඔවුන් ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර, ඊට ධනාත්මක ප්‍රතිචාර දක්වමින් මෙලෙස උක්ත වගන්ති හදිසි නීතියෙන් ඉවත් කරගැනීමට කටයුතු කර ඇති බවත් පිළිබඳ ඔවුන්ගේ ප්‍රසාදය පළ කරන බවයි.

තව ද, එවැනි සාධනීය තත්ත්වය ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව සමඟ පැවැත්වෙන සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා දැල්වූ කොළ එළියක් ලෙසද ඔවුන් සලකන බව ද මෙම නිවේදනයේ සඳහන්.

නමුත් හදිසි නීති රෙගුලාසි සංශෝධනය කිරීම සාධනීය තත්ත්වයක් වුවත්, පොදු මහජන අරගලයට සම්බන්ධ පාර්ශ්ව වශයෙන් හදිසි නීතිය මුළුමනින්ම ඉවත් විය යුතුය යන දැඩි ස්ථාවරයේ තමන් සිටින බව ද ඔවුන් කියා සිටිනවා.

ඒ අනුව දැනට පනවා ඇති හදිසි නීතිය ක්‍රමික වැඩපිළිවෙළක් තුළ ඉවත් කර, හදිසි නීතිය යොදාගෙන අරගලකරුවන් වෙත මුදාහැරෙන මර්දනය වහා ම නතර කළ යුතු බවත් ඔවුන් රජයට අවධාරණය කර සිටින අතර හදිසි නීතිය මුළුමනින් ම ඉවත් කරගන්නා තෙක් අඛණ්ඩව සහ ඒකාබද්ධව එකී ක්‍රියාවලිය වෙනුවෙන් පෙනී සිටින බව ද කියා සිටිනවා.