IMF ණය ගන්න කියන්නේ වසලයන් – වාසු

IMF ණය ගන්න කියන්නේ වසලයන් – වාසු

සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වීම පිළිබඳ තවදුරටත් සකච්ඡා පවත්වන බව වාසුදේව නානායක්කාර පවසනවා.

පක්ෂ ගණනාවක සහභාගිත්වයෙන් නිර්මාණය වන සර්වපාක්ෂික ආණ්ඩුවේ තීරණ, පොදු එකඟතාවක් කෙරෙහි පවත්වා ගැනීමට සුදුසු පුද්ගලයා ජනාධිපතිවරයා බව යි ඔහු පවසන්නේ.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමේ තීරණයට ද තමන් ඇතුළු කණ්ඩායම තදින් ම විරුද්ධ බවත් ඔහු සඳහන් කර යි.

පරස්පර තීරණ අනුව ක්‍රියා කරමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට කතාබස් කිරීම කිසිම අර්ථයක් නැති බව ද වාසුදේව නානායක්කාර පවසනවා.

එසේ ම රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන ඕනෑ ම ආණ්ඩුවකට තමා විරුද්ධ බව යි වාසුදේව නානායක්කාර අවධාරණය කරන්නේ.

මෙරට තුළ මේ වන විට උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත යුතු බවට කිසිවෙක් පවසන්නේ නම්, ඔවුන් වසලයන් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය.

1978 සිට මේ දක්වා කාලය තුළ මෙරට ආර්ථිකය දෙස ආපසු හැරී බැලීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට කළ විනාශය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා පැවසීය.

මෙතරම් විශාල විනාශයක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම සඳහා තවදුරටත් මෙරටට කොන්දේසි දැමීම තුළින් මෙරට විනාශය තවදුරටත් පළල්ව ඉදිරියට යන බව ද ඒ සඳහා සහාය ලබාදීමට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ කිසිදු සහායක් ලබා නොදෙන බව ද ඒ මහතා සඳහන් කළේ ය.

තායිලන්තය, තායිවානය හා දකුණු කොරියාව වැනි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යටි අරමුණ තේරුම් ගැනීම නිසා එම අරමුදල ලබාදුන් උපදෙස් ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.