ගවයන් මැරීම නතර කළ මර්වින් ඇප නැතුව නිදහස්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැරීම අනවශ්‍ය බවත් ඔහු මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (18) නියෝග කළේය.
කැලණිය ප්‍රදේශයේ හරක් මැරීම නතර කළ මෙම සැකකරුට ඇප අනවශ්‍ය බවද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී විවෘත අධිකරණයේදී පැවසීය.
ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.
2007 වසරේ රූපවාහිනී සංස්ථාව තුළ අයුතු ජනරාශියක් ලෙස ක්‍රියාකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, 2007 වසරේ ඇති වුණ සිද්ධිය සම්බන්ධයෙන් තමන් විසින් සිදු කළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කළ බවය.
ඒ අනුව මෙහි සැකකරු වන මර්වින් සිල්වා මහතා අදාළ සිද්ධිය සැකකරුවකු වශයෙන් නම්කරන ලෙස නීතිපතිවරයා විසින් උපදෙස් දුන් බවත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් උපදෙස් ලබා දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියා සිටියේය.
ඒ අනුව ඔහු අද දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව එම නිලධාරීන් කියා සිටියේය.
සැකකාර මර්වින් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ තම සේවාදායකයාට එල්ල වී තිබෙන චෝදනා සියල්ල ඇප දිය හැකි වැරදි බවය
තම සේවාදායකයා ස්වෙච්ඡාවෙන්ම පොලීසියට ඉදිරිපත් වූ බවත් ඔහු අධිකරණය මගහැර යන පුද්ගලයකු නොවන බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසත් විත්තියේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඒ අනුව නඩුව නැවත නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙසත් එදින සැකකාර මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බවත් නියෝග කෙරිණි.

