නාමල්ට ඇමති කමක් දෙනවට අරගලයේ සංවිධානයක් විරුද්ධ වෙයි

නාමල්ට ඇමති කමක් දෙනවට අරගලයේ සංවිධානයක් විරුද්ධ වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකමක් තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවට දේශපාලන සමාජය තුළ මේ වනවිට රාවයක් පැතිරයමින් තිබෙන බවත් මේ පිලිබඳව තම සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇති බවත් Black Cap Movement සංවිධානය පවසයි.

ගාලුමුවදොර අරගලයට එක්ව සිටි සංවිධාන අතරින් එක් සංවිධානයක් වූ මෙම Black Cap Movement සංවිධානය පවසන්නේ රාජපක්ෂ පවුල්වාදයේ අත්තනෝමතික භාවයට එරෙහිව රටේ පැනනැගෙනු ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය වූයේ රාජපක්ෂ වාදයෙන් තොර නව පාලනතන්ත්‍රයක් නිර්මාණය කරගැනී බවය.

Black Cap Movement සංවිධානය නිකුත් කළ නිවේදනය පහතින්,

උපුටා ගැනීම,

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකමක් තමාට ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවට දේශපාලන සමාජය තුළ මේ වනවිට රාවයක් පැතිරයමින් තිබේ. මේ පිළිබඳව අප සංවිධානයේ දැඩි අවධානය යොමුව ඇත.

රාජපක්ෂ පවුල්වාදයේ අත්තනෝමතික භාවයට එරෙහිව රටේ පැනනැගෙනු ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය වූයේ රාජපක්ෂවාදයෙන් තොර නව පාලනතන්ත්‍රයක් නිර්මාණය කරගැනීමයි.

අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි පොහොට්ටු ආණ්ඩුවම නැවත සළුපිලි අන්දවා කරලියට ගැනීමට නොවේ. රාජපක්ෂවාදයේ පසුගාමීත්වයෙන් තොර රටකි. නමුත් නාමල් රාජපක්ෂ පසුගියදා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීයෙකු පත් කිරීම සදහාද පරිසර අමාත්‍යවරයා වෙත ලිපි දෙකක් මාර්ගයෙන් බලපෑම් කර තිබෙනු අපට නිරීක්ෂණය විය.

එමෙන්ම දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත්කිරීමට ද සූදානමක් ඇති බවකි. ජනතා මතය පිළිබඳව කිසිඳු සංවේදීත්වයක් නොමැතිව මෙලෙස ජනතාවට කොකා පෙන්වමින් කටයුතු කිරීමට රාජපක්ෂ කාටේලය කටයුතු කරයි නම් ඔවුන්ගේ දේශපාලන ඉරණම පිළිබඳව ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දු කරනු ඇත.

එහෙත් ඊට ප්‍රථම ශ්‍රීලංකාවේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව ද නාමල්ලාගේ දේශපාලන සූදුවක් බවට පත්කිරීමට ඉඩ නොදෙන ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වෙතින් අප ඉතා බැරෑරුම්ව ඉල්ලා සිටිමු.
නාමල් රාජපක්ෂලාගේ දේශපාලන ගේම් වලින් අවසානයේ පීඩාවට පත්වන්නේ රටේ අහිංසක ජනතාව වන අතර ඒ සඳහා ඉඩ නොතැබමින් අවිහිංසාවාදී අරගලයක නිරත වූ සියලුම සාමකාමී අරගලකරුවන් බලාපොරොත්තු වූ දේශය ගොඩනැගීම සියලු දේශපාලන ක්‍රියාකාරීන්ගේ උරමත පැටවී ඇති වගකීමක් බව අප විස්වාස කරමු.

උපුටා ගැනීම අවසන්