වසන්ත මුදලිගේ දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පෙරේදා (අගෝ. 18) සංවිධානය කළ විරෝධතා පාගමන අතරතුර අත්අඩංගුවට ගත් එහි රැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය අවසර ලබා දී තිබේ.
පොලිසිය සඳහන් කර ඇත්තේ, ඔහු ඇතුළු සැකකරුවන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවය.
එම විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 16 දෙනෙකු ඊයේ (අගෝ. 19) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබිණි.
කෙසේ වෙතත් ඔවුන් අතරින් ගල්වැව සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ, හෂාන්ත ජවන්තු ගුණතිලක යන සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බැවින් ඔවුන් තිදෙනා අධිකරණට ඉදිරිපත් කර නොතිබිණි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර තිබූ විරෝධතා පා ගමන ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හැරීමට පොලිසිය ඊයේ කටයුතු කළ අතර එහිදී විරෝධතාකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

