අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට

අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට

2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

රුපියල් බිලියන 4672ක් වෙන් කළ මෙම අතුරු අයවැය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ පස්වරු 1ටයි.

අයවැය කතාව පස්වරු 2 දක්වා පැවැත්වෙනවා.

ඉන් අනතුරුව සභාව හෙට දක්වා කල්තැබෙන අතර ලබන මස 2දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා.

එළඹෙන 2වැනි දා පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.

පෙරවරු 9යි 30 සිට පස්වරු 5යි 30 දක්වා දිවා විවේකයකින් තොරව මෙම විවාදය පැවැත්වීමටයි පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස අද ඉදිරිපත් කරන අතුරු අයවැය ඉදිරි මාස 04 සඳහා බලපැවැත්වෙන ලෙසයි ඉදිරිපත් කෙරෙන්නේ.

සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශයටයි.

එය රුපියල් බිලියන 735ක්.

මුදල් හා ආර්ථීක ස්ථායිතා අමාත්‍යංශයට රුපියල් බිලියන 467ක් ද, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 376ක් ද වෙන්කර තිබෙනවා.

මේ අතර ආණ්ඩුව මූල්‍ය අරමුදල හා ණය සපයනු ලබන ආයතන සමඟ සිදු කරන ගණුදෙනු ශක්තිමත් කරලීම අරමුණු කරගත් අයවැයක් අද ඉදිරිපත් වනු ඇතැයි රුහුණ විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි පවසනවා.

මෙවර අයවැයෙන් විශාල සහන අපේක්ෂා කළ නො හැකි බවයි ඔහු කියා සිටියේ.

අයවැයෙන් බදු විශාල ලෙස ඉහළ දමනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.

COMMENTS