LTTE ඉන්ධන ටැංකියක් මුලතිව් වලින් මතුවෙයි

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක වලදමා තිබූ ඉන්ධන බවුසර ටැංකියක් ඊයේ (31) සවස ගොඩගැනීමට පියවර ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසනවා.
පුදුකුඩිඉරිප්පු පොලීසියට ඉන්ධන සහිතව බන්ධන බවුසරයක් වලදමා ඇති බවට ලැබුනු තොරතුරකට අනුව ඒ පිළිබඳව මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී මහෙස්ත්‍රාත් ආර්. සර්වණරාජාගේ සහභාගීත්වයෙන් සහ නියෝගයන් යටතේ ඉන්ධන බවුසරය ගොඩගැනීම සිදුකර තිබෙනවා.
දිගින් අඩි 16.7 සහ අඩි අටක විශ්කම්භයෙන් යුත් මෙම ඉන්ධන ටැංකිය පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානයට අවශ්‍ය ඉන්ධන රැස්කිරීම සඳහා යොදාගත් ඉන්ධන ටැංකියක් බවට අනාවරණයවී තිබේ.
වසර 15කට අධික කාලයක් පොළව අභ්‍යන්තරයේ තිබීම හේතුවෙන් හා ඇතැම් ස්ථාන දිරාපත්ව තිබීම ඉන්ධන ටැංකියට හානි සිදුව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
පුදුකුඩිරිප්පු පොලිසිය , යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැය කිහිපයක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් කැණීම් සිදුකළ අතර දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසු ඉන්ධන ටැංකිය පොළව මතුපිටට ගැනීමට සමත්විය.
හමුවූ ඉන්ධන ටැංකිය වැඩිදුර ආරක්ෂාව සඳහා පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා එහිදී ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබෙනවා.



