ඉන්දියාව ගෙදර යවන්න සිංහයන් අද තරඟ බිමට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) පැවැත්වේ. ශ්‍රී ලංකා නායක දසුන් ශානක පැවසුවේ, අද කණ්ඩායම තරඟය සඳහා යහපත් මානසික තත්ත්වයක පසුවන බවයි.
මේ අතර චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා අද කණ්ඩායමට කැඳවීමට ඇතැම් විට ඉඩ ඇති බවත්, ඒ පිළිබඳව නිශ්චිත තීරණයකට එළැඹ නොමැති බවත් ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේ ය.
සුපිරි සිව්දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව මේ වනවිට පෙරමුණේ පසුවේ.
තරඟය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30 ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ දසුන් ශානක කියා සිටියේ, හෙට තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සතු ව සිටින ලෝක මට්ටමේ දඟ පන්දු යවන්නන් දෙදෙනා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බවට යි.
එමෙන්ම පිටියෙන් එපිට සිදු කෙරෙන අදහස් දැක්වීම් සහ කතාබහ සම්බන්ධයෙන් තමන් වැඩි උනන්දුවක් නැති බවත් ලොකු කතා සිදු නො කර ක්‍රීඩා පිටියේ උපරිම දේ සිදු කිරීම හරහා ජයග්‍රහණ කණ්ඩායමට ළඟා කරගත හැකි බවත් ඔහු සඳහන් කළා.

