ආසියා දැල්පන්දු ශූරතා තරඟාවලියේ දී මලයාසියාවට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ දෙවැනි වටයේදී ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරඟයෙන් මලයාසියාවට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට ඊයේ (06) සමත් වුණා.
ඒ අනුව එම තරඟයෙන් ලකුණු 55ට 53ක් ලෙස තියුණු ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.
ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ දෙවැනි වටයේ ඊ කාණ්ඩයේ තරඟයක් ලෙස පැවති මෙම තරගය ආරම්භයේ පටන් තියුණු මුහුණුවරක් ගත් අතර එහි පළමු කාර්තුවේදී ලකුණු 15 ට 13ක් ලෙස පෙරමුණ ගැනීමට මලයාසියාවට හැකි වුණා.
කෙසේ වෙතත් දෙවැනි කාර්තුවේදී සුපුරුදු ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පිල ලකුණු 17ට 15ක් ලෙස එය ජයගනිද්දී තීරණාත්මක තෙවැනි කාර්තුවද ලකුණු 15ට 8ක් ලෙස දැවැන්ත ලකුණු පරතරයක් සහිතව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.
අවසන් කාර්තුවේදී නැවතත් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවකට පිවිසි මලයාසියානු ක්‍රීඩිකාවෝ එම කාර්තුව ලකුණු 15ට 10ක් ලෙස ජයගත්ත ද සමස්තයක් ලෙස ලකුණු 55ට 53ක් ලෙස තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.
ශ්‍රී ලංකාව සමඟ කණ්ඩායම් 3ක් තරග වදින අතර, ආසියා නෙට්බෝල් පිටියේ ප්‍රබල ප්‍රතිවාදීන් වන සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව අද (7) පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (8) හොංකොං පිලට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

