රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝගයක්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේ විමර්ශන කඩිනම් කරන්නැයි නියෝගයක්

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කරන ලෙස අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නියෝග කළා.

ඒ ඊට අදාළ නඩු විභාගය කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්නගේ ජංගම දුරකථන වාර්තා තවමත් ලැබී නොමැති බවයි.

එමෙන්ම, ඉන්ධන පිරවුම්හලේ සී.සී.ටී.වී. දර්ශන පිළිබඳ වාර්තාවක් ද තවමත් රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලැබී නොමැති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

එහිදී, කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ සැකකාර පොලිස් නිලධාරින්ට සහ අගතියට පත් පාර්ශවයටත් සාධාරණයක් ඉටු කිරීම සඳහා විමර්ශන කඩිනම් කරන ලෙසයි.

නඩුව යළි කැඳවීම ලබන මස 26 දක්වා කල් තැබුණා.